2. 2. 8. 3.
29. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ හේතු සහිතවම උපදිත්, හේතු රහිතව නූපදිත් ඒ හේතුහුගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “
2. 2. 8. 4.
30. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ ප්‍රත්‍යය සහිතවම උපදිත්. ප්‍රත්‍යය රහිතව නූපදිත්. ඒ දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “
2. 2. 8. 5.
31. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ රූප (හේතු) සහිතවම උපදිත්. රූප රහිතව නූපදිත්. ඒ කාරණයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”
2. 2. 8. 6.
32. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ වේදනා සහිතවම උපදිත්. වේදනා රහිතව නූපදිත්. ඒ වේදනාවන්ගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”
2. 2. 8. 7.
33. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ සංඥා සහිතවම උපදිත්. සංඥා රහිතව නූපදිත්. ඒ සංඥාවගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”
2. 2. 8. 8.
34. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ සංස්කාර සහිතවම උපදිත්. සංස්කාර රහිතව නූපදිත්. ඒ සංස්කාරයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “
2. 2. 8. 9.
35. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ විඤ්ඤාණ සහිතවම උපදිත්. විඤ්ඤාණ රහිතව නූපදිත්. ඒ විඤ්ඤාණයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”
2. 2. 8. 10.
36. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ සංඛතාරම්මණ සහිතවම (ප්‍රත්‍යයෙන් නිපන් සංඛත ධර්‍මයන් අරමුණුකොට)ම උපදිත්. අසංඛතාරම්මණ සහිතව (අසංඛතවූ නිර්‍වාණය අරමුණුකොට) නූපදිත්. ඒ සංඛත ධර්‍මයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නොවෙත්.”
තුන්වෙනි වර්‍ගය නිමි.
(9) 4. ධර්‍ම වර්‍ගය
2. 2. 9. 1.
සාවත්ථි නිදානයි
37. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “විත්ත විමුක්තිය (අර්හත් ඵල සමාධිය) ද, ප්‍රඥා විමුක්තිය (අර්හත් ඵල ප්‍රඥාව)ද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 2.
38. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ප්‍රග්‍රහය (වීර්‍ය්‍යය)ද, අවික්‍ෂෙපය (සිතෙහි එකඟ බව)ද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 3.
39. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “නාමයද, රූපයද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 4.
40. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “විද්‍යාව (සතරඵල ඥානයද), විමුක්තියද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
2. 2. 9. 5.
41. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “භව (ශාස්වත) දෘෂ්ටියද, විභව (උච්ඡේද) දෘෂ්ටියද (යන දෙදෙන) වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.