2. 2. 6. 12.
12. “මහණෙනි, යම් විනිශ්චයකට එළඹි කරුණෙක්හි (අධිකරණයෙක) දෙපසෙහි පවත්නා වචන හුවමාරුවද, දෘෂ්ටිය නිසා උපන් තදපරුෂ බවද, සිතේ කෝපයද, දොම්නස හා අනුන්ගේ සැපතෙහි නොසතුටුවීම ඇතිවේද; (ස්වකීය චිත්තය හා ස්වකීය පිරිස) මනාකොට නොසංසිඳුනේ වේද; මහණෙනි, ඒ අධිකරණයෙහි මෙබන්දක් අවශ්යයෙන් සිදු වන්නේය. (ඒ අධිකරණය) බොහෝ කල් පැවැත්ම පිණිසද, නපුරුකම හා චණ්ඩභාවය පිණිසද වන්නේය. (ඊට මැදහත්වූ) භික්ෂූහුද සැපසේ වාසය නොකරන්නාහුය. (යනුයි.)
2. 2. 6. 13.
13. “මහණෙනි, යම් අධිකරණයෙක දෙපාර්ශ්වයෙහි ආක්රොශාදී වශයෙන් පවත්නා වචන හුවමාරුවද, දෘෂ්ටිය නිසා උපන් තද පරුෂ බවද, සිතේ කෝපයද, දොම්නසද, අනුන්ගේ සැපතෙහි නොසතුටුවීමද ඇතිවේද; (ස්වකීය චිත්තය හා ස්වකීය පිරිස) මනාකොට සංසිඳුනේ වේද; මහණෙනි, ඒ අධිකරණයෙහි මෙබන්දක් අවශ්යයෙන් සිදු වන්නේය. (ඒ අධිකරණය) බොහෝකල් නොපවතී. කෲර භාවය, චණ්ඩභාවය පිණිසද නොපවතී. (ඊට මැදහත්වූ) භික්ෂූහුද සැපසේ වාසය කරන්නාහුය. (යනුයි.)
පළමුවන වර්ගය නිමි.
(7) 2. සුඛ වර්ගය
2. 2. 7. 1.
සැවැත් නුවර නිදානයි.
14. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ගිහි සැපයද, පැවිදි සැපයද (යන දෙක) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ පැවිදි සැපයක් වේද, මේ සැපය අග්රය.”
2. 2. 7. 2.
15. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කාම සැපයද, නෛෂ්ක්රම්ය සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ නෛෂ්ක්රම්ය සැපයක් වේද, මේ සැපය අග්රයි.”
2. 2. 7. 3.
16. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ලෞකික සැපයද, ලොකොත්තර සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ ලොකොත්තර සැපයක් වේද, මේ සැපය අග්රයි.”
2. 2. 7. 4.
17. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආශ්රව සහිතවූ (සංසාර) සැපයද, ආශ්රව රහිතවූ (නිර්වාණ) සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ අනාසව සැපයක් වේද, මේ සැපය අග්රයි.”
2. 2. 7. 5.
18. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කාමාදී ආශ්රව සහිත සැපයද, කාම රහිත (නික්ලේශීවූ) නිවන් සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ නිරාමිස සැපයක් වේද, මේ සැපය අග්රයි.”
2. 2. 7. 6.
19. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආර්ය්යයන් පිළිබඳ සැපයද, අනාර්ය්ය (පෘථග්ජන)යන් පිළිබඳ සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ ආර්ය්ය සැපයක් වේද, මේ සැපය අග්රය.”