2. 2. 10. 13.
60. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් කැප නොවූ දෙයෙහි කැපය යන සංඥා ඇත්තේ වේද, යමෙක් කැපවූ දෙයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
2. 2. 10. 14.
61. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් අකැපවූ දෙයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේද, යමෙක් කැපවූ දෙයෙහි කැපය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
2. 2. 10. 15.
62. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්හටද යත්: යමෙක් ඇවැත් නුවූවෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ඇවැත් වූවෙහි ඇවැත් නැත යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
2. 2. 10. 16.
63. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්හටද යත්: යමෙක් ඇවැත් නුවූවෙහි ඇවැත් නොවේය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ඇවැත් වූවෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
2. 2. 10. 17.
64. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් අධර්ම වූවෙහි ධර්මය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ධර්ම වූවෙහි අධර්මය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
2. 2. 10. 18.
65. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් අධර්ම වූවෙහි අධර්මය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ධර්ම වූවෙහි ධර්මය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
2. 2. 10. 19.
66. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් විනය නොවූවෙහි විනය යන සංඥා ඇත්තේ වේද, යමෙක් විනය වූවෙහි විනය නොවේ යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
2. 2. 10. 20.
67. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් විනය නොවූවෙහි විනය නොවේ යන සංඥා ඇත්තේ වේද, යමෙක් විනය වූවෙහි විනය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
පස්වෙනි බාල වර්ගය නිමි.
දෙවෙනි පණ්ණාසකය සමාප්තයි.
තුන්වන පනස.
(11) 1. ආසා වර්ගය
[සැවැත් නිදානයි]
2. 3. 11. 1.
1. “මහණෙනි, අත්හැරීමට දුෂ්කරවූ මේ ආසා දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ලාභාසාවද, ජීවිතාසාවද (යන දෙදෙනයි.) මහණෙනි, මේ ආසා දෙක වනාහි දුරුකිරීමට දුෂ්කර වෙති.”
2. 3. 11. 2.
2. “මහණෙනි, ලොව දුර්ලභවූ මේ පුද්ගලයන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් පූර්වකාරී වේද (පළමුව උපකාර කෙරේද), යමෙක් කෘතඥව කෘතවේදී වේද (කළ උපකාර දැන පසුව උපකාර කෙරේද යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි ලොව දුර්ලභ පුද්ගලයෝ වෙත්.”
2. 3. 11. 3.
3. “මහණෙනි, ලොව දුර්ලභවූ මේ පුද්ගලයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, (නිර්වාණ ධර්මයෙන්) තෘප්තවූ පුද්ගලයාද, අනුන් තෘප්තකරවන්නාවූ පුද්ගලයාද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි ලොව දුර්ලභ පුද්ගලයෝ වෙත්.”
2. 3. 11. 4.
4. “මහණෙනි, (තෘප්තියට පැමිණවීමට) දුෂ්කර මේ පුද්ගලයන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් ලුබුණු, ලැබුණු දේ බහා (සඟවා) තබයිද, යමෙක් ලැබුණු, ලැබුණු දේ වියදම් කරයිද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි සතුටු කිරීමට දුෂ්කර පුද්ගලයෝ වෙත්.”
2. 3. 11. 5.
5. “මහණෙනි, සැපසේ පිණවිය හැකි මේ පුද්ගලයන් දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, යමෙක් ලද, ලද දේ බහා (සඟවා) නොතබයිද, යමෙක් ලද, ලද දේ වියදම් නොකරයිද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි සැපසේ පිණවිය හැකි පුද්ගලයෝ වෙත්.”