2. 16. 46-50.
“මහණෙනි, මෙලොව මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් තෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදී. කවර දෙකකින්ද යත්: අක්‍රෝධයෙන්ද, අබද්ධ වෛරයෙන්ද; ගුණමකු නැති බැවින්ද, අයුගග්‍රාහයෙන්ද; ඊර්‍ෂ්‍යයා නොකිරීමෙන්ද, නොමසුරු බැවින්ද; කෛරාටිකකම් නැති බැවින්ද, නොකපටි බැවින්ද; (පාපයෙහි) ලජ්ජාවීමෙන්ද, (පාපයට) භයින්ද යන දෙකිනි. මහණෙනි, මෙලොව මේ කරුණු දෙකින් යුක්තවූ ඇතැම් පුද්ගලයෙක් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු, යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදී.”
සවෙනි ක්‍රොධ වර්‍ගය නිමි.
[17. දහහත්වන වර්ගය]
1. අකුසල පෙය්‍යාලය
1-50.
“මහණෙනි, මේ අකුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත් -පෙ- මහණෙනි, මේ කුසල ධර්මයෝ දෙදෙනෙක් වෙත් -පෙ- මහණෙනි, මේ වැරදි සහිත (සාවද්‍ය) ධර්මයෝ දෙදෙනෙක් වෙත් -පෙ- මහණෙනි, මේ නිවැරදි (අනවද්‍ය) ධර්මයෝ දෙදෙනෙක් වෙත් -පෙ- මහණෙනි, මේ දුක් වඩන ධර්මයෝ දෙදෙනෙක් වෙත් -පෙ- මහණෙනි, මේ සැප වඩන ධර්මයෝ දෙදෙනෙක් වෙත් -පෙ- මහණෙනි, මේ දුක් විපාක ඇති ධර්මයෝ දෙදෙනෙක් වෙත් -පෙ- මහණෙනි, මේ සැප විපාක ඇති ධර්මයෝ දෙදෙනෙක් වෙත් -පෙ- මහණෙනි, මේ දුක් සහිත ධර්මයෝ දෙදෙනෙක් වෙත් -පෙ- මහණෙනි, මේ දුක් රහිත ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: නොකිපීම (අක්‍රෝධය) ද, වෛර නොබැඳීම (අනුපනාහය) ද -පෙ- ගුණමකු නොවීම (අමක්ඛය) ද, තරඟකාරී නොවීම (අපලාසය) ද -පෙ- ඊර්ෂ්‍යා නොකිරීම ද, නොමසුරු බව ද -පෙ- මායා නැති බව ද, කෛරාටික නොවීම ද -පෙ- පවට ලැජ්ජාව (හිරි) ද, පවට බිය (ඔත්තප්ප) ද යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන වනාහි දුක් රහිත ධර්මයෝ වෙත්.”
අකුසලපෙය්‍යාලං නිට්ඨිතං.
2. විනයපෙය්‍යාල හෙවත් ශික්‍ෂාපද වර්‍ගය
1-10.
මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්‍ෂාපද පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්: ‘මැනව වහන්සැ’ යි සඞ්ඝයාගේ පිළිගැනීම පිනිසද, සඞ්ඝයාගේ පහසුබව පිණිසද, දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිසද, ප්‍රියශීලී භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිසද, මේ ආත්මයෙහි කෙලෙසුන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසද, මේ ආත්මයෙහි වෛරයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි වෛරයන්ගේ නැසීම පිණිසද, මේ ආත්මයෙහි දෝෂයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි දෝෂයන්ගේ වැලැක්ම පිණිසද, මේ ආත්මයෙහි භය හේතූන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි භය හේතූන්ගේ ප්‍රතිෂෙධය පිණිසද, මේ ආත්මයෙහි අකුසල ධර්මයන්ගේ සංවරය පිණිසද, පරලෙව්හි අකුසල ධර්මයන්තේ වැලැක්ම පිණිසද, ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිසද, පවිටු භික්‍ෂූන්ගේ පක්‍ෂබල සිඳීම පිණිසද, නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිසද, පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසද, සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිසද, විනයට අනුග්‍රහය පිණිසද යන මේ දෙක අනුසස් සඳහායි. මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්‍ෂාපද පනවන ලද්දේය.
11-300.
මහණෙනි, මේ කරුණු දෙක නිසා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට පාමොක් පනවන ලදී -පෙ- පාමොක් උදෙසීම් පනවන ලදී -පෙ- පාමොක් තැබීම (උපෝසථය නතර කිරීම) පනවන ලදී -පෙ- පවාරණා පනවන ලදී -පෙ- පවාරණා තැබීම පනවන ලදී -පෙ- තජ්ජනීය කර්මය පනවන ලදී -පෙ- නියස්ස කර්මය පනවන ලදී -පෙ- පබ්බාජනීය කර්මය පනවන ලදී -පෙ- පටිසාරණීය කර්මය පනවන ලදී -පෙ- උක්ඛේපනීය කර්මය පනවන ලදී -පෙ- පරිවාසදානය (පිරිවෙස් දීම) පනවන ලදී -පෙ- (පිරිවෙස් වසන අතරතුර ඇවැතට පැමිණියහුට) මූලායපටිකස්සනය පනවන ලදී -පෙ- (සැඟවූ හෝ නොසැඟවූ ඇවැත්හි) මානත්තදානය (මානත් දීම) පනවන ලදී -පෙ- (මානත් පිරූ භික්ෂුවට) අබ්භානය පනවන ලදී -පෙ- (මනාව පවතින භික්ෂුවට) ඔසාරණීය කර්මය පනවන ලදී -පෙ- (මනාව නොපවතින භික්ෂුවට) නිස්සාරණීය කර්මය පනවන ලදී -පෙ- (අට වැදෑරුම්) උපසම්පදාව පනවන ලදී -පෙ- (තැන් නවයකට යන) ඤත්ති කර්මය පනවන ලදී -පෙ- ඤත්තිදුතිය කර්මය පනවන ලදී -පෙ- ඤත්තිචතුත්ථ කර්මය පනවන ලදී -පෙ- නොපැනවූ තැන (ශික්ෂාපද) පනවන ලදී -පෙ- පැනවූ ශික්ෂාපදයෙහි අනුප්‍රඥප්ති පනවන ලදී -පෙ- සම්මුඛාවිනය පනවන ලදී -පෙ- (රහතන් වහන්සේට චෝදනා නොකිරීම පිණිස) සතිවිනය පනවන ලදී -පෙ- (උමතු වූ භික්ෂුවට) අමූළ්හවිනය පනවන ලදී -පෙ- පටිඤ්ඤාතකරණය පනවන ලදී -පෙ- (අධිකරණ සංසිඳවීම පිණිස) යේභුය්‍යසිකාව පනවන ලදී -පෙ- (පාපය බහුල පුද්ගලයාට නිග්‍රහ කිරීම පිණිස) තස්සපාපිය්‍යසිකාව පනවන ලදී -පෙ- (බරපතළ ඇවැත් හා ගිහියන් හා සබැඳි ඇවැත් හැර සෙසු ඇවැත් සංසිඳවීම පිණිස) තිණවත්ථාරකය පනවන ලදී.