2. 1. 4. 4.
35. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තෙනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ අනාථපිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය: “ස්වාමීනි.ලොව ඍැදැහැවතුන්ගේද දන් ලැබීමට සුදුස්සෝ කීදෙනෙක් වෙත්ද? කොතැන්හි හෙවත් කවර පුද්ගලයෙකුට දන්දිය යුතුදු?’
“ගෘහපතිය. දෙදෙනෙක් වනාහි ලොව දක්ෂිණාර්‍හයෝවෙත්. (එනම්) ශෛක්‍ෂපුද්ගල තෙමේද (සිල්වත් පෘථග්ජනයා සහ සෝවාන් පුද්ගලයා පටන් අර්‍හත් මාර්‍ගය පිළිපන් පුද්ගලයා), අශෛක්‍ෂ රහත් පුද්ගලතෙමේද (යන දෙදෙනයි.) ගෘහපතිය. මේ දෙදෙන වනාහි දන්දීමට සුදුස්සෝය. තවද මේ පුද්ගලයන් කෙරෙහි දානය දිය යුතුයි” භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාරා නැවත මේ ගාථාවද වදාළ සේක.
“මෙලොව (සප්තවිධ) ශෛක්‍ෂ පුද්ගල තෙමේද, අශෛක්‍ෂ පුද්ගල තෙමේද, දන් දෙන්නවුන්ගේ දන් පිළිගැනීමට සුදුස්සෝ වෙත්. ඔවුහු කයින්ද, වචනයෙන්ද, නැවත සිතින්ද ඎජු වූවෝය. දන් දෙන්නවුන්ට ඔවුහු පින් කෙතයි. එහි දෙන ලද්ද මහත් ඵල වේ.”
2. 1. 4. 5.
36. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සැවැත් නුවර සමීපයෙහි වූ පූර්‍වාරාමයෙහි මිගාරමාතු නම්වූ (විශාඛා) උපාසිකාව විසින් කරවා පිළිගන්වන ලද ප්‍රාසාදයෙහි වැඩ වාසය කෙරෙයි. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි, මහණෙනි,” කියා භික්‍ෂූන් ඇමතූයේය. ඒ භික්‍ෂූහු තුමූ, “ඇවැත්නි” කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම මෙසේ ප්‍රකාශ කෙළේය:
“ඇවැත්නි, අධ්‍යාත්ම සංයෝජන ඇති පුද්ගලයාද (අධ්‍යාත්ම නම් කාම භවයෙහි ඡන්‍දරාගය ඇත්තාවූ පුද්ගලයාද) බහිද්ධා සංයෝජන ඇති පුද්ගලයාද (බහිද්ධා නම් රූපා රූප භවයන්හි ඡන්‍දරාග ඇත්තාවූ පුද්ගලයාද) ප්‍රකාශ කරන්නෙමි. ඒ ශ්‍රවණය කරව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” ඒ භික්‍ෂූහු තුමූ “එසේය, පින්වතුන් වහන්සැ” යි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම මෙසේ වදාළේය:
“ඇවැත්නි, අධ්‍යාත්ම සංයෝජන ඇත්තාවූ පුද්ගල තෙම කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ, ආචාර, ගෝචර දෙකින් යුක්තවූයේ, ස්වල්ප මාත්‍රවූ අකුශල ධර්මයන්හි බිය දක්නා සුලුව වාසය කෙරේද, ශික්‍ෂා පදයන් සමාදන්ව එහි හික්මේද, හෙතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, යටට බස්නා ස්වභාව වූයේ, මේ මනුෂ්‍යාත්ම භාවයට එන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි අධ්‍යාත්මික (ඔරම්භාගිය) සංයෝජනයෙන් (බැඳීමෙන්) යුක්තවූ, යටට බස්නා සුලුවූ, මේ මනුෂ්‍යාත්මභාවයට එන්නාවූ පුද්ගල තෙමේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, බහිද්‍ධාසංයෝජනයෙන් (බැඳුමෙන්) යුක්තවූ පුද්ගල තෙම කවරේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ, ආචාර, ගෝචර දෙකින් යුක්තවූයේ, ස්වල්ප මාත්‍රවූ අකුශල ධර්මයන්හි බිය දක්නා සුලුව වාසය කෙරේද, ශික්‍ෂා පදයන් සමාදන්ව එහි හික්මේද, හෙතෙම එක්තරා ශාන්තවූ චිත්තවිමුක්තියකට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, පහළට නොබස්නා ස්වභාව වූයේ, මේ මිනිස් බවට නොඑන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි පහතට නොබස්නා ස්වභාවවූ, මේ මිනිස් බවට නොඑන්නාවූ, බාහිර සංයෝජනයෙන් යුක්තවූ, පුද්ගල තෙමේයයි කියනු ලැබේ.
තවද ඇවැත්නි, මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ, ආචාර, ගෝචර දෙකින් යුක්තවූයේ, ස්වල්ප මාත්‍රවූ අකුශල ධර්මයන්හි බිය දක්නා සුලුව වාසය කෙරේද, ශික්‍ෂා පදයන් සමාදන්ව එහි හික්මේද, හෙතෙම කාමයන්හිම කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ වේ. හෙතෙම (තුන්) භවයන්හිම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, විනාශය පිණිසද පිළිපන්නේ වේ. හෙතෙම තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපන්නේ වේ. හෙතෙම ලෝභය ක්‍ෂය කිරීම පිණිස පිළිපන්නේ වේ. හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, අනාගාමී වූයේ, මේ මිනිසත් බවට නොඑන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි පහතට (කාමභවයට) නොබස්නා ස්වභාව වූ, මේ මිනිසත් බවට නොඑන්නාවූ, බාහිර සංයෝජනයෙන් යුක්තවූ, පුද්ගල තෙමේයයි කියනු ලැබේ.”
ඉක්බිත්තෙන් සමසිත් ඇත්තාවූ, බොහෝවූ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියාහුය. එක්පසෙක සිටියාවූ මේ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය.
“ස්වාමීනි, මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම පූර්‍වාරාමයෙහි මිගාරමාතා ප්‍රාසාදයෙහි භික්‍ෂූන්ට, අධ්‍යාත්ම සංයෝජනය ඇති පුද්ගලයාද, බහිද්‍ධාසංයෝජනය ඇති පුද්ගලයාද දේශනා කෙරෙයි. ස්වාමීනි, (එහිවූ) පිරිස් තොමෝ සතුටු සිත් ඇත්තීය. ස්වාමීනි, භාග්‍යවත් තෙම අනුකම්පා කොට ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙන සේක් නම් මැනව.” භාග්‍යවතුන් වහන්සේ, තූෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක.
ඉක්බිත්තෙන් භාග්‍යවත් තෙමේ, යම් සේ ශක්තිමත් පුරුෂයෙක් වූකලී හකුළුවන ලද්දාවූ අතක් දිගු කරන්නේ හෝ වේද, දිගු කරණ ලද්දාවූ අතක් හකුළුවන්නේ හෝ වේද, එපරිද්දෙන්ම ජේතවනාරාම විහාරයෙහි අතුරුදන් වූයේ, පූර්‍වාරාමයෙහි මිගාරමාතා ප්‍රාසාදයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඉදිරියෙහි පහළවූසේක. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අසුන්හි වැඩහුන් සේක. ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ශාරීපුත්‍ර ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.