2. 1. 2. 9.
19. “මහණෙනි, අකුසලය දුරුකරව්. මහණෙනි, අකුසලය දුරුකිරීමට හැක්කේය. මහණෙනි, ඉදින් අකුසලය දුරුකිරීමට නොහැකිවන්නේනම්, “මහණෙනි, අකුසලය දුරුකරව්.” යයි මම මෙසේ නොකියමි. මහණෙනි, යම්හෙයකින් වනාහි අකුසලය දුරුකරන්ට හැකි වන්නේද, එහෙයින්ම, “මහණෙනි, අකුසලය දුරුකරව්.” යයි මම මෙසේ කියමි. මහණෙනි, මේ අකුසලය දුරුකරණ ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවත්නේ නම්, “මහණෙනි, අකුසලය දුරුකරව්.” යයි මම මෙසේ නොකියන්නෙමි. මහණෙනි, යම් හෙයකින් අකුසලය හිත පිණිස, සැප පිණිස පවතීද, එහෙයින්ම, “මහණෙනි, අකුසලය දුරුකරව්.” යයි මම මෙසේ කියමි.”
“මහණෙනි, කුසලය වඩව්. මහණෙනි, කුසලය වඩන්නට හැක්කේය. මහණෙනි, ඉදින් කුසලය වඩන්නට නොහැකිවන්නේනම්, “මහණෙනි, කුසලය වඩව්.” යයි මම මෙසේ නොකියන්නෙමි. මහණෙනි, යම්හෙයකින් වනාහි කුසලය වඩන්නට හැක්කේද, එහෙයින්ම, “මහණෙනි, කුසලය වඩව්.” යයි මම මෙසේ කියමි. මහණෙනි, මේ කුසලයද වඩන ලද්දේ අවැඩ පිණිස, දුක් පිණිස පවත්නේ නම්, “මහණෙනි, කුසලය වඩව්.” යයි මම නොකියන්නෙමි. මහණෙනි, යම් හෙයකින් වනාහි කුසලය වඩන ලද්දේ වැඩ පිණිස, සැප පිණිස පවතීද, එහෙයින්ම, “මහණෙනි, කුසලය වඩව්.” යයි මම මෙසේ කියමි.”
2. 1. 2. 10.
20. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්‍ධර්‍මයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: වරදවා ගන්නා ලද පාලි පදයද, වරදවා පමුණුවන ලද්දාවූ අර්ත්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, පිළිවෙල වරදවා ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ත්‍ථයද දුකසේ දැනගත යුතුය. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි සද්‍ධර්‍මශාසනයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස, පවතිත්.”
21. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: පිළිවෙළ නොයික්මවා ගන්නා ලද දේශනා පාලියද, පරිපාටිය නොපෙරළා ගන්නා ලද අර්ත්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, මනාකොට ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අර්ත්‍ථයද මනාකොට දත හැකි වේ. මේ ධර්මයෝ දෙදෙන වනාහි ශාසනයාගේ චිරස්ථිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස, පවතිත්.”
දෙවෙනි අධිකරණ වර්‍ගය නිමි.
3. බාල වර්‍ගය
2. 1. 3. 1.
[සැවැත් නුවර නිදානයි]
21. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දෝෂය දෝෂ වශයෙන් නොදකීද, යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය දහම්වූ පරිද්දෙන් නොපිළිගණීද, මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ වෙත්.”
“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දෝෂය දෝෂ වශයෙන් දකීද, යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය දහම්වූ පරිද්දෙන් පිළිගණීද, මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
2. 1. 3. 2.
22. “මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්. කවර දෙදෙනෙක්ද යත්: අභ්‍යන්තරයෙහි පිහිටි දොස් ඇත්තාවූ, ද්වේෂයෙන් දූෂිතවූ පුද්ගල තෙමේද, නොමනාව ගන්නාලද බැවින් (නුවණ නැති) සැදැහැවත් පුද්ගල තෙමේද යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.”