2. 1. 2. 1.
[සැවැත් නුවර නිදානයි]
11. “මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්‍ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙකයි. “මහණෙනි, පරීක්‍ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්‍ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්‍ෂාකිරීමේ බලයයි කියනු ලැබේ. “මහණෙනි, භාවනා බලය කවරේද? මහණෙනි, මේ බල දෙක අතුරෙන් යම් මේ භාවනා බලයක් වේද. මේ බලය (අර්හත්වයට නොපැමිණ සෝවාන් ආදී මාර්‍ගයන්හි හැසිරෙන) ශෛක්‍ෂයන් සම්බන්ධ ඥානබලය වේ. මහණෙනි, හෙතෙම ශෛක්‍ෂ බලය නිසා රාගය දුරුකරයි. ද්වේෂය දුරුකරයි. මෝහය දුරුකරයි. රාගය දුරුකොට, ද්වේෂය දුරුකොට, මෝහය දුරුකොට, යමක් අකුසල් වේද, එය නොකෙරෙයි. යමක් පව් වේද, එය සේවනය නොකෙරෙයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. මහණෙනි, මොහු දෙදෙන වනාහි භාවනා බලයෝ වෙති.”
2. 1. 2. 2.
12. “මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්‍ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙදෙනයි. “මහණෙනි, පරීක්‍ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්‍ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය තෙම මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්‍ෂාකිරීමේ බලයයි කියනු ලැබේ. “මහණෙනි, භාවනා බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ස්මෘති සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ධර්‍මවිචය සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ වීර්‍ය්‍යය සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ප්‍රීති සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ පස්සද්ධි සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ සමාධි සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. “මහණෙනි, මොහු වනාහි බලයෝ දෙදෙන වෙත්.
2. 1. 2. 3.
13. “මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්‍ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙදෙනයි. “මහණෙනි, පරීක්‍ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්‍ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය තෙම මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්‍ෂාකිරීමේ බලයයි කියනු ලැබේ. “මහණෙනි, භවනා බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්‍ක (කල්පනා කිරීම්) සහිතවූ, විචාර (අරමුණෙහි සිත හැසිරවීම) සහිතවූ, විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. විතර්‍ක විවාරයන්ගේ සන්සිඳීමෙන් ස්වකීය සන්තානයෙහි මනාකොට පැහැදීම ඇති, චිත්තයාගේ එකට පහළවීම (එකඟබැව්) ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැප ඇති ද්‍විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියෙහි නො ඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තෙක්ව වාසය කරයි. සිහි ඇත්තේ, මනා නුවණ ඇත්තේ, සැපයද කයින් විඳී. (බුද්ධාදී) ආර්‍ය්‍යයෝ (එහි වසන්නා) උපෙක්‍ෂා ඇත්තේය, සැප විහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීයධ්‍යාන සමාපත්තියට එළඹ වාසය කෙරෙයි. (කායික) සුඛ ප්‍රහාණයෙන් (දුරු කිරීමෙන්ද) දුඃඛ ප්‍රහාණයෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ බැහැරලීමෙන් දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ත්‍ථධ්‍යාන සම්පත්තියට එළඹ වාසය කෙරෙයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. මහණෙනි, මොහු බලයෝ දෙදෙන වෙති.”
2. 1. 2. 4.
14. “මහණෙනි, තථාගතයන්ගේ මේ ධර්‍මදේශනාවෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙ නෙක්ද යත්: සංක්‍ෂෙප වශයෙන් කරණ දේශනාවය, විස්තර වශයෙන් කරණ දේශනාවය යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන්ගේ ධර්‍මදේශනාවෝයි.”
2. 1. 2. 5.
15. “මහණෙනි, (විවාදාදී) අධිකරණයන් අතුරෙන් යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්‍ෂු තෙමේද, චොදක භික්‍ෂු තෙමේද මනාකොට තමාම (තමන්ගේ දෝෂය) පරීක්‍ෂා නොකෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා මෙය අවශ්‍යයෙන් විය යුතුයි. (එනම්) ඒ අධිකරණය දීර්‍ඝභාවයට, නපුරු බවට, කර්‍කශ භාවයට පැමිණෙන්නේය. භික්‍ෂූහු තුමූද සැපසේ වාසය නොකරන්නාහුය (යන මේ වශයෙනි.)
“මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්‍ෂු තෙමේද, චොදක භික්‍ෂු තෙමේද මනාකොට තුමූම තමන් පරීක්‍ෂා කෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්‍ඝභාවයට, ක්‍රූරභාවයට, කර්‍කශ භාවයට නොපැමිණෙන්නේය. භික්‍ෂූහු තුමූද සැපසේ වාසය කරන්නාහුය යන මේ කාරණය අවශ්‍යයෙන් වන්නේය.