10. 5. 1. 6.
සංසප්පනිය පරියාය සූත්රය
“මහණෙනි, තොපට (සර්පයෙකු මෙන්) බඩගා යාමේ පිළිවෙළ නම්වූ ධර්ම ක්රමයක් දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, බඩගා යන ක්රමයවූ ඒ ධර්ම ක්රමය කවරේද?
මහණෙනි, සත්ත්වයෝ කර්මය ස්වකීයකොට ඇත්තාහ. කර්මය දෑවැද්ද කොට ඇත්තාහ. කර්මය උත්පත්ති ස්ථාන කොට ඇත්තාහ. කර්මය නෑයන් කොට ඇත්තාහ. කර්මය පිළිසරණ කොට ඇත්තාහ. යහපතක්වූ හෝ, අයහපතක්වූ හෝ, යම් කර්මයක් කරත්ද, ඊට හිමිවූවෝ වෙත්ය” යි වදාළ සේක.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, රෞද්රවූයේ, ලේ වැකුණු අත් ඇත්තේ, නැසීමෙහි බැස ගත්තේ, සියලු ප්රාණීන් භූතයන් කෙරෙහි දයා නැත්තේ වේද, හෙතෙම කයින් බඩගායයි. වචනයෙන් බඩගායයි. සිතින් බඩගායයි. ඔහුගේ කාය කර්මය ඇදවේ. වාක් කර්මය ඇද වේ. මනො කර්මය ඇද වේ. පරලොව ගමන ඇද වේ. උත්පත්තිය ඇද වේ. මහණෙනි, ඇද ගති ඇත්තාහට, ඇද උත්පත්තිය ඇත්තාහට, ඒකාන්ත දුක්වූ, නිරය හා යම් ඒ බඩගා යන තිරිසන් යෝනිය යන දෙගතීන් අතුරෙන් එක්තරා ගතියක් කියමි.
මහණෙනි, ඒ බඩගා යන තිරිසන් යෝනිය කවර්ද? නාගය, ගෝනුසුය, පත්තෑය, මුගටිය, බළල්ලුය, මීයෝය, බකමූණෝය. කිසියම් අනෙකුත් තිරිසන්ගත සත්ත්වයෝ මිනිසුන් දැක බඩගා යත්ද, මහණෙනි, මෙසේ වූවාහු වනාහි මෙසේ වූවහුගේ උත්පත්තිය වේ. යමක් කරයිද, එයින් උපදී. උපන් මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. මහණෙනි, මෙසේද සත්ත්වයෝ කර්මය දායාදකොට ඇත්තෝයයි කියමි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නුදුන් දේ ගන්නේ වේද, හෙතෙම කයින් බඩගායයි... මහණෙනි, මෙසේද සත්ත්වයෝ කර්මය දායාදකොට ඇත්තෝයයි කියමි. කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද... මහණෙනි, මෙසේද සත්ත්වයෝ කර්මය දායාදකොට ඇත්තෝයයි කියමි. බොරු කියන්නේ වේද... මහණෙනි, මෙසේද සත්ත්වයෝ කර්මය දායාදකොට ඇත්තෝයයි කියමි. කේලාම් කියන්නේ වේද... මහණෙනි, මෙසේද සත්ත්වයෝ කර්මය දායාදකොට ඇත්තෝයයි කියමි. ඵරුෂ වචන කියන්නේ වේද... මහණෙනි, මෙසේද සත්ත්වයෝ කර්මය දායාදකොට ඇත්තෝයයි කියමි. ප්රලාප දොඩන්නේ වේද... මහණෙනි, මෙසේද සත්ත්වයෝ කර්මය දායාදකොට ඇත්තෝයයි කියමි. තද ලෝබකම ඇත්තේ වේද... මහණෙනි, මෙසේද සත්ත්වයෝ කර්මය දායාදකොට ඇත්තෝයයි කියමි. ක්රොධ සිත් ඇත්තේ වේද... මහණෙනි, මෙසේද සත්ත්වයෝ කර්මය දායාදකොට ඇත්තෝයයි කියමි. වැරැදි දැකීම් ඇත්තේ වේද:
දුන් දේ විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. ත්යාග කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්මයන්ගේ ඵලයක්, විපාකයක් නැත. මෙලොව නැත, පරලොව නැත. මවු නැත, පියා නැත. ඉබේ පහළවන සතුන් නැත. යමෙක් මෙලොවද, පරලොවද, තුමූ හොඳට දැන, අත් දැක, දන්වත්ද, ලෝකයෙහි (එබඳු) මහණ බමුණෝ නැත, යනුවෙන් විපරීත දැකුම් ඇත්තේ වේද, හෙතෙම කයින් බඩගායයි. වචනයෙන් බඩගායයි. සිතින් බඩගායයි. ඔහුගේ කාය කර්මය ඇදවේ. වාක් කර්මය ඇද වේ. මනො කර්මය ඇද වේ. පරලොව ගමන ඇද වේ. උත්පත්තිය ඇද වේ.
මහණෙනි, මම ඇද ගති ඇත්හුට, ඇද උත්පත්තියක් ඇත්තහුට, ඒකාන්ත දුක්වූ නරකය හෝ, බඩගා යන සතුන් අයිති තිරිසන් යෝනිය හෝ, යන දෙගතීන් අතුරින් එක් ගතියක් කියමි.