10. 3. 2. 10.
10. දසආසවක්ඛය ධම්ම සූත්‍රය
122. “මහණෙනි, මේ ධර්‍ම දහය වඩන ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ, පව් ගෙවීම පිණිස පවතී. කවර දසයක්ද යත්,
මනා දැකීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම.
“මහණෙනි, මේ දශධර්‍මයෝ වඩන ලද්දාහු, බහුල කරණ ලද්දාහු, පව් ගෙවීම පිණිස පවතිත්.”
පච්චොරොහණී වර්ගය දෙවැනියි.
එහි උද්දානය:
අධර්ම සූත්‍ර තුනද, අජිත, සඞ්ගාරව සහ ඔරිමතීර සූත්‍ර ද, පච්චොරොහණී සූත්‍ර දෙකක් ද, පුබ්බඞ්ගම හා ආසව සූත්‍රය දැ යි මෙහි සූත්‍ර දහයකි.
(13) 3. පරිසුද්‍ධ වර්‍ගය
10. 3. 3. 1.
1. පරිසුද්‍ධ ධම්ම සූත්‍රය
123. “මහණෙනි, පිරිසිදු, බබලන මේ ධර්‍මයෝ දශදෙන සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය. කවර දසදෙනෙක් ද යත්:
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ පිරිසිදුය, පර්‍ය්‍යවදාතය, සුගතවිනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 2.
2. අනුප්පන්නධම්ම සූත්‍රය
124. “මහණෙනි, නූපන්නාවූ ධර්‍මදහයක් උපදිත්, සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ නූපන්නාහු උපදිත්, සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 3.
3. මහප්ඵල ධම්ම සූත්‍රය
125. “මහණෙනි, මහත්ඵල, මහානිසංසවූ ධර්‍ම දහයක් සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දස ධර්මයෝ මහත්ඵල වූවාහු මහානිසංස වූවාහු සුගතවිනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 4.
4. කිලෙසවිනය ධම්ම සූත්‍රය
126. “මහණෙනි, මේ ධර්‍ම දහයක් රාගය හික්මවීම අවසන්කොට ඇත්තාහ. ද්වේෂය, මෝහය හික්මවීම අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ රාගය හික්මවීම අවසන්කොට ඇත්තාහ, ද්වේෂය හික්මවීම අවසන්කොට ඇත්තාහ, මෝහය හික්මවීම අවසන්කොට ඇත්තාහ, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.