10. 3. 1. 3.
3. ආරාධන විරාධනා සූත්රය
103. “මහණෙනි, බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේ. සම්පූර්ණවීම නොවේ. “මහණෙනි, කෙසේ බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේද. සම්පූර්ණවීම නොවේද?
මහණෙනි, වැරදි දැනීම ඇත්තාට වැරදි කල්පනාව සම්පූර්ණවේ. වැරදි කල්පනාව ඇත්තාට වැරදි වචන සම්පූර්ණවේ. වැරදි වචන ඇත්තාට වැරදි කර්මාන්ත සම්පූර්ණවේ. වැරදි කර්මාන්ත ඇත්තාට වැරදි ජීවිකාව සම්පූර්ණවේ. වැරදි ජීවිකාව ඇත්තාට වැරදි වෑයම සම්පූර්ණවේ. වැරදි වෑයම් ඇත්තාට වැරදි එකඟකම සම්පූර්ණවේ. වැරදි එකඟකම ඇත්තාට වැරදි නුවණ සම්පූර්ණවේ. වැරදි නුවණ ඇත්තාට වැරදි මිදීම සම්පූර්ණවේ. මහණෙනි, බොරු බව හේතුකොටගෙන වැලැක්ම වේ. සම්පූර්ණවීම නොවේ.
“මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන සම්පූර්ණවීම වේ. වැලැක්ම නොවේ. මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන කෙසේ සම්පූර්ණ වේද, වැලැක්ම නොවේද?
මහණෙනි, සම්යක් දෘෂ්ටිකයාට සම්යක් කල්පනාව සම්පූර්ණවේ. සම්යක් කල්පනාව ඇත්තාට සම්යක් වචන සම්පූර්ණවේ. සම්යක් වචන ඇත්තාට සම්යක් කර්මාන්ත සම්පූර්ණවේ. සම්යක් කර්මාන්ත ඇත්තාට සම්යක් ජීවිකාව සම්පූර්ණවේ. සම්යක් ජීවිකාව ඇත්තාට සම්යක් වෑයම සම්පූර්ණවේ. සම්යක් වෑයම ඇත්තාට සම්යක් එකඟ කම සම්පූර්ණවේ. සම්යක් එකඟකම ඇත්තාට සම්යක් නුවණ සම්පූර්ණවේ. සම්යක් නුවණ ඇත්තාට සම්යක් මිදීම සම්පූර්ණවේ. මහණෙනි, පුරණ ලද බව හේතුකොටගෙන සම්පූර්ණවීම වේ. වැලැක්ම නොවේ.”
10. 3. 1. 4.
4. බීජෝපම සූත්රය
104. “මහණෙනි, වැරදි දැනීම් ඇති, වැරදි කල්පනා ඇති, වැරදි වචන ඇති, වැරදි කර්මාන්ත ඇති, වැරදි ජීවිකාව ඇති, වැරදි වෑයම් ඇති, වැරදි සිහිය ඇති, වැරදි එකඟබව ඇති, වැරදි නුවණ ඇති, වැරදි මිදීම ඇති, පුරුෂ පුද්ගලයා විසින් යම් කාය කර්මයක් දෘෂ්ටිය අනුව පුරණ ලද්දේ වේද, සමාදන් වන ලද්දේ වේද, යම් වාක් කර්මයක් දෘෂ්ටිය අනුව පුරණ ලද්දේ වේද, සමාදන් වන ලද්දේ වේද, යම් මනඃ කර්මයක් දෘෂ්ටිය අනුව පුරණ ලද්දේ වේද, සමාදන් වන ලද්දේ වේද, යම් චේතනාවක්, යම් ප්රාර්ත්ථනාවක්, යම් සිත පිහිටුවීමක් යම් සංස්කාරයක් වේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, අකාන්ත බව පිණිස, නොමනාප බව පිණිස, අහිත පිණිස, දුක් පිණිස, පවතිත්. ඊට හේතු කවරේද, මහණෙනි, දෘෂ්ටිය ලාමක බැවිනි.
“මහණෙනි, යම් සේ කොසඹ බීජයක් හෝ, වැටකොළු බීජයක් හෝ, තිත්ත ලබු බීජයක් හෝ, තෙත් පෘථුවියෙහි බහලන ලද්දේ, යම් බඳු පෘථුවි රසයක් ඇද ගනීද, යම් දියර රසයක් ඇද ගනීද, ඒ සියල්ල තිත්ත බව පිණිස, කුළු රස පිණිස, අයහපත් බව පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි, බීජය ලාමකය.
මහණෙනි, එසේම මිත්ථ්යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් මිත්ථ්යා කල්පනා සහිත, වැරදි වචන ඇති, වැරදි කර්මාන්ත ඇති, වැරදි ජීවිකාව ඇති, වැරදි වෑයම් ඇති, වැරදි සිහිය ඇති, වැරදි එකඟබව ඇති, වැරදි නුවණ ඇති, වැරදි මිදීම ඇති පුරුෂ පුද්ගලයා විසින් යම් කාය - වාක් - මනඃ කර්මයක්, යම් චේතනාවක්, යම් ප්රාර්ත්ථනාවක්, යම් සිත පිහිටුවීමක්, යම් සංස්කාරයක් සම්පූර්ණ කරණ ලද්දේද, සමාදන්වන ලද්දේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, අකාන්ත බව පිණිස, නොමනාප බව පිණිස, අහිත පිණිස, දුක් පිණිස, පවතිත්. ඊට හේතු කවරේද, මහණෙනි, දෘෂ්ටිය ලාමක බැවිනි.
“මහණෙනි, සම්යක් දෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් සම්යක් සඞ්කල්ප, සම්යක් වාචා, සම්යක් කර්මාන්ත, සම්යක් ආජීව, සම්යක් වායාම, සම්යක් සති, සම්යක් සමාධි, සම්යක් ඤාණ, සම්යක් විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් යම් කාය, වාක්, මනඃ කර්මයක් සම්පූර්ණ කරණ ලද්දේද, සමාදන්වන ලද්දේද, යම් චේතනාවක්, යම් ප්රාර්ථනාවක්, යම් සිත පිහිටුවීමක්, යම් සංස්කාරයක් වේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස, කාන්ත බව පිණිස, මන වඩන බව පිණිස, හිත පිණිස, සැප පිණිස, පවතිත්. ඊට හේතුව කවරේද? මහණෙනි, දෘෂ්ටිය යහපත් බැවිනි.