10. 3. 1. 12.
දස අසේඛිය ධම්ම සූත්රය
112. “මහණෙනි, මේ අශෛක්ෂ ධර්ම දහයෙකි. කවර දසයක්ද යත්?
අශෛක්ෂ සම්යක් දෘෂ්ටිය, අශෛක්ෂ සම්යක් සංකල්පනාවය, අශෛක්ෂ සම්යක් වචනය, අශෛක්ෂ සම්යක් කර්මාන්තය, අශෛක්ෂ සම්යක් ආජීවය, අශෛක්ෂ සම්යක් වීර්ය්යය, අශෛක්ෂ සම්යක් සමාධිය, අශෛක්ෂ සම්යක් ඤාණය, අශෛක්ෂ මිදීමය යන මේ දශය මහණෙනි, අශෛක්ෂ ධර්මයෝයි.”
පළමුවෙනි සංඥා වර්ගය නිමි.
[එහි උද්දානය:]
සඤ්ඤා, බොජ්ඣඞ්ග, මිච්ඡත්ත, බීජ, විජ්ජා, නිජ්ජරා, ධොවන, තිකිච්ඡා, නිද්ධමන සහ අසෙඛ යැයි සූත්ර දහයකි.
(12) 2. පච්චොරොහණි වර්ගය
10. 3. 2. 1.
1. අධම්මානත්ථ සූත්රය
113. “මහණෙනි, අධර්මයද, අනර්ත්ථයද දත යුතුය. ධර්මයද, අර්ත්ථයද දත යුතුයි. අධර්මයද, අනර්ත්ථයද දැන, ධර්මයද අර්ත්ථයද දැන, ධර්මය යම්සේද, අර්ත්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයි.
“මහණෙනි, අධර්මයද, අනර්ත්ථයද කවරේද, වැරදි දැකීම, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි දැනුම, වැරදි මිදීමය. මහණෙනි, මේ අධර්මයද, අනර්ත්ථයද වේ.
“මහණෙනි, ධර්මයද, අර්ත්ථයද කවරේද? නිවැරදි දැකීම, නිවැරදි සිතීම, නිවැරදි කථාව, නිවැරදි ක්රියාව, නිවැරදි පැවැත්ම, නිවැරදි වෑයම, නිවැරදි සිහිය, නිවැරදි සිත එකඟකම, නිවැරදි දැනුම, වැරදි මිදීම යන මේ, මහණෙනි, ධර්මයද, අර්ත්ථයදැයි කියනු ලැබේ.
“මහණෙනි, අධර්මයද, අනර්ත්ථයද දත යුතුය. ධර්මයද, අර්ත්ථයද දත යුතුයි. අධර්මයද, අනර්ත්ථයද දැන, ධර්මයද අර්ත්ථයද දැන, ධර්මය යම්සේද, අර්ත්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයි. මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය ඒ සඳහා කියන ලදී.
10. 3. 2. 2.
2. ධම්මාධම්ම සූත්රය
114. “මහණෙනි, අධර්මයද, ධර්මයද දත යුතුය. අනර්ත්ථයද, අර්ත්ථයද දත යුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්ථයද, අර්ත්ථයද දැන, ධර්මය අනුව, අර්ත්ථය අනුව, එසේ පිළිපැදිය යුතුය.
“මහණෙනි, අධර්මය කවරේද? ධර්මය කවරේද? අනර්ත්ථය කවරේද? අර්ත්ථය කවරේද?
මහණෙනි, වැරදි දැකීම අධර්මයයි. නිවැරැදි දැකීම ධර්මයමයි. වරදවා දැකීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්මයෝ පහළවෙත්. මේ අනර්ත්ථයයි. නිවැරැදි දැකීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණවීමට යත්. මේ අර්ත්ථයයි.