10. 2. 5. 9.
උපාලිවනපත්ථ සූත්රය
99. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක් සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට, “ස්වාමීනි, මම ඈත වනයෙහි දුර සෙනසුන් ආශ්රය කරන්ට කැමැත්තෙමි’ යි කීයේය.
උපාලිය, අරණ්යයෙහි ඈත වනයෙහි දුර සෙනසුන් නොලැබිය හැකිවෙයි. උතුම් විවේකය දුෂ්කරය. එකඟ බවෙහි නොඇලෙයි. සමාධිය නොලබන භික්ෂුවගේ සිත් වනයෝ ගනිත්යයි සිතමි. උපාලිය, යම්කිසි කෙනෙක් මම එකඟකම නොලබමින් අරණ්යයෙහි දුර වනයේ, දුර සේනාසන සේවනය කරමියි මෙසේ කියන්නේය, කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය ඔහු විසින් කැමතිවිය යුතුයි.
“උපාලිය, මහ වතුර විලක් යම් සේ වේද, ඉක්බිති සත් රියනක් හෝ අට රියනක් හෝ ඇති ඇත් රජෙක් එන්නේද, ඔහුට මේ දිය විලට බැස කණ සේදීමේ ක්රීඩාව කරන්නේ නම්, පිට සෝදන ක්රීඩාව කරන්නේ නම් යහපතැයි සිතයි. කණ සේදීමේ, පිට සේදීමේ කෙළි කෙළ, නා, බී, ගොඩවී, යම් තැනක් කැමැත්තේද, යන්නේය. හෙතෙම ඒ දිය විලට බැස කණ, පිට සෝදන කෙළි කෙළින්නේය. කණ, පිට සෝදන කෙළි කෙළ, නා, බී, ගොඩවී, යම තැනක් කැමැත්තේ නම්, එහි යන්නේද, ඊට හේතු කවරේද? උපාලිය, ශරීරය ගැඹුරේ නොගැඹුර විඳියි.”
“ඉක්බිති හාවෙක් හෝ බළලෙක් හෝ එන්නේය. ඔහුට ‘මම කවරෙක්ද? ඇත් රජා කවරෙක්ද? මම මේ දිය විලට බැස කණ, පිට, සොදන ක්රීඩා කෙළින්නෙමි, කණ, පිට, සෝදන ක්රීඩා කොට නා, බී, ගොඩවී යම් තැනෙක්හි කැමැත්තේ නම් එහි යන්නේය’ යි මෙබඳු සිතක් වන්නේය. හෙතෙම ඒ දිය විල කරා පැමිණ, වහා කල්පනා නොකර පනින්නේය.
ඔහු කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය කැමතිවිය යුතුයි. ඊට හේතු කවරේද? උපාලිය, ශරීරය කුඩාය. ගැඹුරෙහි නොගැඹුරු බවක් නොලබයි. උපාලිය, එසේම යමෙක්, ‘මම සිතේ එකඟකම නොලබා අරණ්යයෙහි ඈත වනයේ දුර සෙනසුන් සේවනය කරන්නෙමියි මෙසේ කියන්නේ නම් කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය ඔහු විසින් බලාපොරොත්තු විය යුතුයි.
“උපාලිය, යම්සේ කුඩාවූ උඩුකුරුව සයනය කරණ ළදරු කුමරෙක් ස්වකීය මල මූත්ර සමග කෙළීද, උපාලිය, ඒ කුමකැයි සිතන්නේද? මෙය සම්පූර්ණයෙන් පිරුණු ළදරු සෙල්ලමක් නොවේද?” “ස්වාමීනි, එසේය.”
“උපාලිය, ඒ කුමාරතෙම මෑත භාගයෙහි වැඩීමට පැමිණ ඉන්ද්රියයන් මේරීමට පැමිණ කුමරුවන්ගේ සෙල්ලම් බඩු දේ ඇද්ද, ඒ මෙසේයි. බිලීකටුය, කුඩාකලය, රූංපෙත්ත, චිංගුලකය, පත්තාළ්හකය, කුඩා රථය, කුඩා දුන්න යන මෙයින් ක්රීඩා කරයි. උපාලිය, ඒ කිමකැයි සිතන්නේද? මේ ක්රීඩා පෙර ක්රීඩාවලට වඩා අතිශයින් යහපත් නොවේද, අතිශයින් ප්රණීත නොවේද?” - “ස්වාමීනි, එසේය.”