10. 2. 5. 8.
ථෙර සුත්තං
“මහණෙනි, ධර්ම දහයකින් යුක්තවූ ස්ථවිර භික්ෂුව යම් යම් දිශාවක වාසය කරයිද, සුවසේ වාසය කරයි. කවර දසයකින්ද යත්?
“ස්ථවිර වේ, රත්නඥ වේ, පැවිදිව බොහෝ කල් ඇත්තේ වේ. සිල්වත් වේ. ශික්ෂාපදයන් සමාදන්ව රකී. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේ. දෘෂ්ටියෙන් ප්රතිවෙධ කළාහු වෙත්. ප්රාතිමොක්ෂ දෙක, සූත්ර වශයෙන්, අකුරු වශයෙන්, විස්තරව පාඩම් කළාහු වෙත්. බෙදන ලද්දාහු, පවත්වන ලද්දාහු, විනිශ්චය කරණ ලද්දාහු වෙත්. ඇතිවන නඩු සංසිඳුවීමේ දක්ෂ වේ. ප්රිය වචන කථා කරණ ධර්මකාමියෙක් වේ. ශ්රේෂ්ඨ ධර්මයෙහි, ශ්රේෂ්ඨ විනයෙහි මහත් සතුට ඇත්තේ වේ. සන්තුට්ඨ වේ.
“ඉතරීතර සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය බෙහෙත් පිරිකරින් (සතුටුවූයේ වේ). ඉදිරියට යාමෙහි, ආපසු ඊමෙහි, ප්රසාද එළවන්නේ වේ. ඇතුළුනුවර හිඳීමෙහිද සංවර වූයේ වේ. ශ්රේෂ්ඨ සිතට අයත් මේ ආත්මයෙහි සැප විහරණ ඇති, ධ්යාන සතර ඉබේ ලබන්නේ වේ. පහසුවෙන් ලබන්නේ වේ. නිදුකින් ලබන්නේ වේ. ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන්, ආශ්රව රහිත සිතින් කෙලෙසුන්ගෙන් මිදීමද, ප්රඥාවෙන් මිදීමද, මෙලොවම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන අත්දැකීමට, උසස්බවට පැමිණ, වාසය කරයි.
“මහණෙනි, ඉමෙහි දස ධර්මයකින් යුක්තවූ ස්ථවිර භික්ෂුව යම් යම් දිශාවක වාසය කරයිද, සුවසේම වාසය කරතී.”
10. 2. 5. 9.
උපාලිවනපත්ථ සූත්රය
99. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක් සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට, “ස්වාමීනි, මම ඈත වනයෙහි දුර සෙනසුන් ආශ්රය කරන්ට කැමැත්තෙමි’ යි කීයේය.
උපාලිය, අරණ්යයෙහි ඈත වනයෙහි දුර සෙනසුන් නොලැබිය හැකිවෙයි. උතුම් විවේකය දුෂ්කරය. එකඟ බවෙහි නොඇලෙයි. සමාධිය නොලබන භික්ෂුවගේ සිත් වනයෝ ගනිත්යයි සිතමි. උපාලිය, යම්කිසි කෙනෙක් මම එකඟකම නොලබමින් අරණ්යයෙහි දුර වනයේ, දුර සේනාසන සේවනය කරමියි මෙසේ කියන්නේය, කිඳෙන්නේය, පාවෙන්නේය, යන මෙය ඔහු විසින් කැමතිවිය යුතුයි.