10. 2. 5. 6.
කොකනද සූත්‍රය
96. එක් කාලයෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, රාත්‍රියෙහි අලුයම නැගිට, තපෝදාව යම් තැනෙක්හිද, ඇඟ සේදීම පිණිස වැඩි සේක. තපොදාවෙහි ඇඟ සෝදා, ඇඟ වේලමින් එක සිවුරෙන් සිටියේය. කොකනද පරිබ්‍රාජක තෙමේද, රාත්‍රියෙහි අළුයම් වේලාවෙහි නැගිට, තපෝදාව යම් තැනෙක්හිද, ඇඟ සේදීමට එහි පැමිණියේය. කොකනද පරිබ්‍රාජකතෙම, ඈත සිට එන ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දැක, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවේය:
“ඇවැත්නි, මෙහි සිටින ඔබ කවරෙක්දැ” යි ඇසීය.
“ඇවැත්නි, මම භික්‍ෂු කෙනෙක් වෙමිය” යි කීයේය.
“ඇවැත්නි, කවර භික්‍ෂූන් අතරෙහිදැ” යි ඇසිය.
“ඇවැත්නි, ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් අතරේය” යි කීයේය.
“ඉදින් ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීමට ආයුෂ්මත් තෙමේ අවකාශ දේ නම්, අපි ආයුෂ්මතුන්ගෙන් කිසියම් කරුණක් අසමු” යි කීයේය.
“ඇවැත්නි, අසව. අසා දැනගන්නෙමි” යි කීයේය.
“පින්වත, කිමෙක්ද? පින්වත් තෙමේ ‘ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය, අන්‍ය දෙය හිස්ය’ යන දෘෂ්ටි ඇත්තේද?”
“ඇවැත්නි, මම ‘ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය, අනිත්වා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“පින්වත, කිමෙක්ද? පින්වත් තෙමේ ‘ලෝකය අශාස්වතය, මෙයම සත්‍යය, අන්‍ය දෙය හිස්ය’ යන දෘෂ්ටි ඇත්තේද?”
“ඇවැත්නි, මම ‘ලෝකය අශාස්වතය, මෙයම සත්‍යය, අනිත්වා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“පින්වත, කෙසේද? පින්වත් තෙමේ ලෝකය කෙළවරක් ඇත්තේය... නැත්තේය... එය ජීවය එය ශරීරය... ජීවය අනිකකි ශරීරය අනිකකි... සත්ත්‍ව තෙමේ මරණින් මතු වේ... නොවේ... වේද නොවේද වේ... මෙසේ පුළුවිසූ කල්හි ‘එබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි’ යි කීයේය. පින්වත, කෙසේද? පින්වත් තෙමේ සත්ත්‍ව තෙමේ මරණින් මතු නොවේමය, නොවේද නොවේ. මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?”
“ඇවැත්නි, මම ‘සත්ත්‍ව තෙමේ මරණින් මතු නොවේමය, නොවේද නොවේ. මෙයම සත්‍යය, අනිත්වා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.”
“එසේනම් පින්වත් තෙමේ නොදනියි, නොදකියි.” “ඇවැත්නි, මම නොදන්නෙම්, නොදක්නෙම් නොවෙමි. ඇවැත්නි, මම දනිමි, දකිමි” යි කීයේය.