10. 2. 5. 5.
උත්තිය පරිබ්‍රාජක සූත්‍රය
95. ඉක්බිති උත්තිය පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි උත්තිය පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය:
‘භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ලෝකය ශාස්වතද, මෙයම සත්‍යයද, අනිත්වා හිස්දැ’ යි ඇසීය.
‘උත්තිය, මා විසින් ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය, අනිත්වා හිස්යයි මෙසේ ප්‍රකාශ නොකරණ ලදී.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ලෝකය අශාස්වතද, මෙයම සත්‍යයද, අනිත්වා හිස්දැ’ යි ඇසීය.
‘උත්තිය, මා විසින් ලෝකය අශාස්වතය, මෙයම සත්‍යය, අනිත්වා හිස්යයි මෙයද මා විසින් ප්‍රකාශ නොකරණ ලදී.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ලෝකය අන්තයක් ඇත්තේද... එය ජීවයද, එය ශරීරයද... ජීවය අනිකෙක්ද, ශරීරය අනිකෙක්ද... සත්ත්‍වයා මරණින් මතු වේද... සත්ත්‍වයා මරණින් මතු නොවේද... සත්ත්‍වයා මරණින් මතු වේද, නොවේද... සත්ත්‍වයා මරණින් මතු නොද වෙයිද, නොද නොවෙයිද, මෙයම සත්‍යයද, අනිත්වා හිස්දැ’ යි ඇසීය.
‘උත්තිය, මා විසින් සත්ත්‍වයා මරණින් මතු නොද වෙයි, නොද නොවෙයි. මෙයම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙයද මා විසින් ප්‍රකාශ නොකරණ ලදී.”
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ලෝකය ශාස්වතද, මෙයම සත්‍යයද, අනිත්වා හිස්දැ’ යි මෙසේ විචාරණ ලද්දේ ‘උත්තිය, ලෝකය ශාස්වතය, මෙයම සත්‍යය, අනිත්වා හිස්යයි මා විසින් මෙයද ප්‍රකාශ නොකරණ ලද්දේය’ යි කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ලෝකය අශාස්වතද, මෙයම සත්‍යයද, අනිත්වා හිස්දැ’ යි මෙසේ විචාරණ ලද්දේ ‘උත්තිය, ලෝකය අශාස්වතය, මෙයම සත්‍යය, අනිත්වා හිස්යයි මා විසින් මෙයද ප්‍රකාශ නොකරණ ලද්දේය’ යි කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ලෝකය කෙළවරක් ඇත්තේද... ලෝකය කෙළවරක් නැත්තේද... එය ජීවයය, එය ශරීරයය... ශරීරය අනිකක්ය, ජීවය අනිකක්ය... සත්ත්‍වයා මරණින් මතු වේය... සත්ත්‍වයා මරණින් මතු නොවේය... සත්ත්‍වයා මරණින් මතු වේය, නොවේය... සත්ත්‍වයා මරණින් මතු නොද වෙයි, නොද නොවෙයි, මෙයම සත්‍යය, අනිත්වා හිස්යයි මෙයද තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය’ යි කීයෙහිය. එසේනම් භවත් ගෞතමයන් වහන්සේ විසින් කුමක් ප්‍රකාශ කරණ ලද්දෙහිද?”
“උත්තිය, මම විශිෂ්ඨ ඥානයෙන් දැන, සත්ත්‍වයන්ගේ විශුද්‍ධිය පිණිස, ශොක වැලපීම් දෙක ඉක්මවීම පිණිස, දුක් දොම්නස් දෙක අස්තවීම පිණිස, ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය ලබා ගැනීම පිණිස, නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, ශ්‍රාවකයන්ට ධර්‍මය දේශනා කරමි.”
“භවත් ගෞතමයන් වහන්සේ විසින් යමක් විශිෂ්ඨ ඥානයෙන් දැන, සත්ත්‍වයන්ගේ විශුද්‍ධිය පිණිස ශ්‍රාවකයන්ට ධර්‍මය දේශනා කරයිද, ඉන් සියලු ලෝකය පමුණුවන්නේද, අර්‍ධයක්ද, භාගයක්දැ” යි ඇසීය. මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භූතවූ සේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට, ‘උත්තිය පරිබ්‍රාජක තෙම, මෙබඳු ලාමක දෘෂ්ඨියක් නොලබාවා, සියලුදෙනා තමන්ම උසස්වන ප්‍රශ්නයක් විචාරණ ලද්දේ, මාගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නොවිසඳයි. ඒකාන්තයෙන් නොඉවසිය හැකිය’ යි මෙබඳු සිතක් විය. එය උත්තිය පරිබ්‍රාජකයාට බොහෝ කලක් අහිත පිණිස, දුක පිණිස වන්නේය.