10. 2. 5. 4.
සබ්බගරහන වජ්ජියමහිත සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර, ගග්ගරා පොකුණුතෙර වාසය කරණ සේක. ඉක්බිති ‘වජ්ජියමහිත’ නම් ගෘහපතිතෙම කල් ඇතුවම භාග්‍යවතුන් වහන්සේ දැකීමට චම්පානුවරින් පිටත්වූයේය. ඉක්බිති වජ්ජියමහිත ගෘහපතියාට, ‘තවම භාග්‍යවතුන් වහන්සේ දක්නට යාමට නොකල්ය. භාග්‍යවතුන් ඵල සමවතට සමවැදුනේය. සිත වඩන (භාවනා කරන) භික්‍ෂූන් ලඟට යාමටද නොකල්ය. සිත වඩන භික්‍ෂූහු ඵල සමවතට සමවැදුනාහ. අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නෙමු නම් යෙහෙකැයි සිතූහ.
ඉක්බිත්තෙන් වනාහි වජ්ජියමහිත ගෘහපතිතෙම තීර්ත්‍ථකයන්ගේ ආරාමයට ගියේය. එකල්හි වනාහි අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ එක්ව රැස්ව උස්හඬ නගන්නාහු, උස් හඬ ඇත්තාහු, මහත් හඬ ඇත්තාහු, නානාප්‍රකාර තිරිසන් කථාවන් කියමින් හුන්නාහු වෙත්.
ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ එන්නාවූ වජ්ජියමහිත ගෘහපතියා දුරදීම දැක්කාහුය. දැක, ඔවුනොවුන් ඇඟවූවාහුය. ‘පින්වත්නි, ශබ්ද නොකරව්. පින්වත්නි, ශබ්ද නොකරව්. ශ්‍රාවකවූ මේ වජ්ජියමහිත ගෘහපතිතෙම එයි. ශ්‍රමණ ගෞතමයන්ගේ යම් පමණ ගිහිවූ, සුදු ඇඳුම් අඳින්නාවූ, යම් ශ්‍රාවකයෝ චම්පානුවර වසත්ද, මේ වජ්ජියමහිත ගෘහපතිතෙම ඔවුන්ගෙන් කෙනෙකි. ආයුෂ්මත්නි, ඔවුහු නිශ්ශබ්දභාවය කැමැත්තෝය. නිශ්ශබ්දව හික්මුණාහ. නිශ්ශබ්දබවෙහි ගුණ කියන්නාහ. නිශ්ශබ්ද පිරිස දැක එළඹෙන්ට සිතෙන්නේ නම් යෙහෙකැ’ යි කීහ. ඉක්බිති, ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.
ඉක්බිති වජ්ජියමහිත ගෘහපතිතෙම ඒ පරිබ්‍රාජකයෝ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ඒ අන්‍යතීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටින්නාවූ වජ්ජියමහිත ගෘහපතියාට ඒ පරිබ්‍රාජකයෝ මෙසේ කීවාහුය.
“ගෘහපතිය, ශ්‍රමණ ගෞතමතෙම සියලු තපස්කම්වලට ගරහයි. දුකසේ ජීවත්වන සියලු තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් නින්‍දාකරයි. දොස් කියයි යන මෙය ඇත්තදැ’ යි ඇසීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සියලු තපස් නොගරහයි. සියලු රූක්‍ෂව ජීවත්වන තපස් ඇත්තන්ට ඒකාන්තයෙන් නින්‍දා නොකරයි. දොස් නොකියයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගැරහියයුත්තාට ගරහයි. පැසසියයුත්තාට පසසයි. ස්වාමීනි, ගැරහියයුත්තාට ගරහන්නාවූ, පැසසියයුත්තාට පසසන්නාවූ, භාග්‍යවතුන් වහන්සේ විභජ්ජවාදීය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණහිලා ඒකාන්තවාදියෙක් නොවෙති’ යි මෙසේ කීවේය.
මෙසේ කීකල්හි එක්තරා පරිබ්‍රාජකයෙක් වජ්ජියමහිත ගෘහපතියාට මෙසේ කීවේය:
‘ගෘහපතිය, ඔබ පහවෙව. ඔබ යම්බඳුවූ ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ කියන්නෙහිද, ඒ ශ්‍රමණගෞතමතෙමේ නාස්තිවාදියෙකි. පැණවීමක් නැත්තෙකි’ යි කීයේය.
‘ස්වාමීනි, මම මෙහිලා ආයුෂ්මතුන්ට කරුණු සහිතව කියමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙය කුශලයයි පණවන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙය අකුශලයයි පණවන ලදී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් කුශලය හා අකුශලය පණවනු ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ පැණවීම් සහිතය. භාග්‍යවතුන් වහන්සේ නාස්තිවාදියෙක් නොවේ. පැනවීම් නැත්තෙක් නොවේය” යි කීයේය.
මෙසේ කීකල්හි ඒ පරිබ්‍රාජකයෝ තූෂ්ණීම්භූතවූවාහු, මුහුණ හැකුලුණාහු, නැමුණු පිට ඇත්තාහු, යටිකුරුවූ මුහුණ ඇත්තාහු, සිතමින්, නොවැටහෙමින් සිටියාහුය. ඉක්බිති වජ්ජියමහිත ගෘහපතිතෙම තූෂ්ණීම්භූතවූ, මුහුණ හැකුලුණු, නැමුණු පිට ඇති, යටිකුරුවූ මුව ඇති, සිතමින් හුන්, නොවැටහුණු ඒ පරිබ්‍රාජකයන් දැක, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි වජ්ජියමහිත ගෘහපතිතෙම ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග යම්තාක් කථා සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.
“ගෘහපතිය, යහපත, යහපත. මෙසේ තොප විසින් ඒ හිස් පුරුෂයෝ කලින් කල කරුණු සහිතව යටත්කළ යුත්තාහ. නිග්‍රහ කළ යුත්තාහ. ගෘහපතිය, මම සියලු තපස් තැවිය යුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු තපස් නොතැපිය යුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු ගැනීම් ගතයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු ගැනීම් නොගතයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු භාවනාකිරීම් භාවනා කටයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු භාවනාකිරීම් භාවනා නොකටයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු දුරු කිරීම් දුරු කටයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු සියලු දුරු කිරීම් දුරු නොකටයුතුයයි නොකියමි. ගෘහපතිය, මම සියලු මිදීම් මිදිය යුත්තාහයි නොකියමි. ගෘහපතිය, මම මිදීම් නොමිදිය යුත්තාහයිද නොකියමි.