10. 2. 5. 3.
කිංදිට්ඨික සූත්‍රය
එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම කල් ඇතිව භාග්‍යවතුන් වහන්සේ දක්නට නික්මුනේය. ඉක්බිති අනේපිඬු ගෘහපතියාට, තවම භාග්‍යවතුන් වහන්සේ දක්නට නොකල්ය. භාග්‍යවතුන් වහන්සේ ඵල සමවතට සමවන් සේක. සිත වඩන භික්‍ෂූන් කරාද යාමට අකාලයය. සිත වඩන භික්‍ෂූහුද ඵල සමවත්වලට සමවැදුනාහ. අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නේ නම් යෙහෙකැයි සිතූයේය. ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණියේය.
එකල්හි වනාහි අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ එක්ව රැස්ව උස්හඬ නගන්නාහු, උස් හඬ ඇත්තාහු, මහත් හඬ ඇත්තාහු, නානාප්‍රකාර තිරිසන් කථාවන් කියමින් හුන්නාහු වෙත්. ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ එන්නාවූ අනාථ පිණ්ඩික ගෘහපතියා දුරදීම දැක්කාහුය. දැක, ඔවුනොවුන් ඇඟවූවාහුය. ‘පින්වත්නි, ශබ්ද නොකරව්. පින්වත්නි, ශබ්ද නොකරව්. ශ්‍රාවකවූ මේ අනේපිඬු ගෘහපතිතෙම එයි. ශ්‍රමණ ගෞතමයන්ගේ යම් පමණ ගිහිවූ, සුදු ඇඳුම් අඳින්නාවූ, යම් ශ්‍රාවකයෝ සැවැත්නුවර වසත්ද, මේ අනාථ පිණ්ඩික ගෘහපතිතෙම ඔවුන්ගෙන් කෙනෙකි. ආයුෂ්මත්නි, ඔවුහු නිශ්ශබ්දභාවය කැමැත්තෝය. නිශ්ශබ්දව හික්මුණාහ. නිශ්ශබ්දබවෙහි ගුණ කියන්නාහ. නිශ්ශබ්ද පිරිස දැක එළඹෙන්ට සිතෙන්නේ නම් යෙහෙකැ’ යි කීහ. ඉක්බිති, ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.
ඉක්බිති අනාථ පිණ්ඩික ගෘහපතිතෙම ඒ පරිබ්‍රාජකයෝ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ඒ අන්‍යතීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. ඒ පරිබ්‍රාජකයෝ එකත්පසෙක සිටි අනේපිඬු ගෘහපතියාට, “ගෘහපතිය, ශ්‍රමණ ගෞතම තෙම කවර කවර දෘෂ්ඨියක් ඇත්තේදැයි” කියව. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සියලු දෘෂ්ඨි නොදනිමි” යි කීයේය.
“ගෘහපතිය, ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ සියලු දෘෂ්ටි නොදන්නේ නම්, ගෘහපතිය, කියව. භික්‍ෂූහු කුමන දෘෂ්ඨි ඇත්තාහුද?” - “ස්වාමීනි, මම භික්‍ෂූන්ගේ සියලු දෘෂ්ටි නොදනිමි.”
“ඔබ කුමන දෘෂ්ටි ඇත්තේද?” - “ස්වාමීනි, අපි මේ දෘෂ්ටිකයෝයයි ප්‍රකාශ කිරීම දුෂ්කරය.” - “එසේනම් ආයුෂ්මත්හු, පළමුකොට ස්වකීය දෘෂ්ටි ප්‍රකාශ කෙරෙත්වා. නැවත අප විසින්ද, අපි අසවල් දෘෂ්ටිකයෝයයි ප්‍රකාශ කරන්ට දුෂ්කර නොවන්නේය.”
“මෙසේ කී කල්හි එක්තරා පරිබ්‍රාජකයෙක් අනේපිඬු ගෘහපතියාට, “ගෘහපතිය, මම ‘ලෝකය ශාස්වතය, මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ‘ගෘහපතිය, මම ‘ලෝකය සදාකාලික නොවේ. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ‘ගෘහපතිය, මම ‘ලෝකය කෙළවරක් ඇත්තේය. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ‘ගෘහපතිය, මම ‘ලෝකය කෙළවරක් නැත්තේය. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ‘ගෘහපතිය, මම ඒ ජීවමය, ඒ ශරීරමය මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ‘ගෘහපතිය, මම ඒ ජීවය අනිකකි, ශරීරය අනිකකි. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ‘ගෘහපතිය, මම සත්ත්‍වයන් මරණින් මතු වෙයි. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ‘ගෘහපතිය, මම සත්ත්‍වයන් මරණින් මතු නොවෙයි. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ‘ගෘහපතිය, මම සත්ත්‍වයන් මරණින් මතු වේද නොවේද වේ. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ‘ගෘහපතිය, මම සත්ත්‍වයන් මරණින් මතු නොවෙයි. නොවන්නේද නොවේ. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය.