10. 2. 5. 2.
2. වුපසන්තපඤ්චභය සූත්රය
[සාවත්ථි]
ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි අනේපිඬු ගෘහපතියාට, භාග්යවතුන් වහන්සේ එතදවොච:
“ගෘහපතිය, යම් තැනක සිට ආර්ය්ය ශ්රාවකයාට භය වෛර පස සන්සිඳුනාහු වෙත්ද, සොතාපත්ති අඞ්ග සතරින් යුක්තවූයේ වේද, ආර්ය්ය ධර්මය ප්රඥාවෙන් මනාව දක්නා ලද්දේ වේද, අවබෝධ කරණ ලද්දේ වේද, ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය:
ක්ෂය කළ නිරය ඇත්තේ වෙමි. ක්ෂය කළ තිරිසන් අපාය ඇත්තේ වෙමි. ප්රේත ලෝකය ක්ෂය කෙළේ වෙමි. ක්ෂය කළ අපාය සංඛ්යාත දුගතියෙහි වැටීම් ඇත්තේ වෙමි. වහා වැටෙන ස්වභාව නැති අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, සුගති නියතවූ, රහත්බව පරම පිහිට කොට ඇති, සෝවාන් වූවෙක් වීමියි, මතු ඵලයන් බලාපොරොත්තුවෙමින් තෙමේම තමා ගැන ප්රකාශ කරන්නේය. කවර පඤ්ච වෛරයක්, බියක්, සන්සිඳුනාහු වෙත්ද?
“ගෘහපතිය, සතුන් මරන්නා සතුන් මැරීමේ හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. සතුන් මැරීමෙන් වෙන්වූවහුට මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. සතුන් මැරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ බිය, වෛර සන්සිඳුනේ වේ.
“ගෘහපතිය, නුදුන් දේ ගන්නේ වේද, නුදුන් දේ ගත් හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. නුදුන් දේ ගැන්මෙන් වෙන්වූවහුට මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. නුදුන් දේ ගැන්මෙන් වෙන්වූවහුට බිය, වෛරය සන්සිඳුනේ වේ. “ගෘහපතිය, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරීම හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවහුට මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ බිය, වෛර සන්සිඳුනේ වේ. “ගෘහපතිය, බොරු කියන්නේ වේද, බොරු කීමේ හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. බොරුකීමෙන් වෙන්වූවහුට මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. බොරුකීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ බිය, වෛර සන්සිඳුනේ වේ. “ගෘහපතිය, මදයට හා ප්රමාදයට හේතුවන රහමෙර බොන්නේ වේද, මදයට හා ප්රමාදයට හේතුවන රහමෙර පීමේ හේතුවෙන් මෙලොවද බියක්, වෛරයක් රැස්කරයි. පරලොවද බියක්, වෛරයක් රැස්කරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක්, විඳියි. මදයට හා ප්රමාදයට හේතුවන රහමෙර බීමෙන් වෙන්වූයේ මේ ආත්මයෙහි බියක්, වෛරයක් රැස් නොකරයි. පරලොව බියක්, වෛරයක් රැස් නොකරයි. සිතෙහිවූ දුකක්, දොම්නසක් නොවිඳියි. මදයට හා ප්රමාදයට හේතුවන රහමෙර බීමෙන් වැළැක්කාහට මෙසේ ඒ භය, වෛර පස සන්සිඳුනාහු වෙත්.
“කවර සෝවාන් අඞ්ග සතරකින් යුක්තවූයේ වේද:
ගෘහපතිය, මේ ශාසනයෙහි මහණතෙම ඒ භාග්යවතුක් වහන්සේ මේ කාරණයෙනුදු අර්හත්ය, සම්යක් සම්බුද්ධය, අෂ්ට විද්යා පසළොස් චරණයෙන් යුක්තය, සුගතය, තුන් ලෝ දත් සේක, තමාහට වැඩිහිටියෙක් නැත, දමනය නොකොට හැකි පුද්ගලයන් හික්මවන සේක, දෙවි මිනිසුන්ට අනුශාසනා කරණ සේක. චතුරාර්ය්ය සත්යය දත් සේක. භාග්ය ඇති සේකැයි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වේද, භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී. තමා විසින්ම දැක්ක යුතුයි. කල් නොයවා දෙන විපාක ඇත්තේය. ඇවිත් මේ බලව යන විධියට සුදුසුය. පැමිණීමට සුදුසුය. නුවණැත්තවුන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුයයි ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්තවේද,