10. 2. 4. 8.
8. දසව්යසන සූත්රය
[සාවත්ථි]
මහණෙනි, යම් ඒ භික්ෂුවක් ආර්යයන්ට දොස් කියන්නේ, සබ්රම්සරුන්ට ආක්රොශ කරන්නේ වේද, බණින සුළු වේද, යම් හෙයකින් හෙතෙම විපත්ති දහය අතුරෙන් එක්තරා විපත්තියකට නොයන්නේය යන මේ කාරණය සිදු නොවේ. කවර දසයකටද යත්:
ලැබූ ගුණ ධර්මයක් නොලබයි. ලබන ලද්දාහු පිරිහෙත්. සද්ධර්මයාගේ හෝ සද්ධර්මය තුළ පිරිසිදුබව නැතැයි අධිමානය ඇත්තේ වේ. නොඇලුනේ, බ්රහ්මචර්ය්යයෙහි හැසිරෙන්නේ හෝ එක්තරා කිලිටි ඇවතකට පැමිණෙන්නේ හෝ වේ. දැඩි ලෙඩක්, රෝගයක් වැළඳෙයි. සිත් අවුලකට හෝ උමතුවට හෝ පැමිණෙයි. මුළාවී කළුරිය කරයි. කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්ගතිවූ, නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපදී.
මහණෙනි, යම් ඒ භික්ෂුවක් ආර්ය්යයන්ට දොස් කියන්නේ සබ්රම්සරුන්ට ආක්රොශ කරන්නේ, බණින්නේ වේද, හෙතෙමේ යම් හෙයකින් මේ දස විපත් අතුරෙන් එක්තරා විපතකට නොපැමිණෙන්නේය යන මේ කාරණය සිදු නොවීමට ඉඩක් නැත.
10. 2. 4. 9.
9. කොකාලික සූත්රය
[සැවැත් නුවරදී ය]
89. ඉක්බිති කොකාලික මහණතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කොකාලික මහණතෙම, භාග්යවතුන් වහන්සේට, “ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
දෙවනුවත්, කොකාලික මහණතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, කිමෙක්ද, භාග්යවතුන් වහන්සේ මා අදහන්නේය. විශ්වාස කරන්නේය. ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක