10. 2. 4. 9.
9. කොකාලික සූත්‍රය
[සැවැත් නුවරදී ය]
89. ඉක්බිති කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කොකාලික මහණතෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
දෙවනුවත්, කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ මා අදහන්නේය. විශ්වාස කරන්නේය. ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
තුන්වෙනුවත් කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි ශ්‍රද්ධාව ඇත්තාහු නමුදු, විශ්වාස ඇත්තාහු නමුදු, සැරියුත් මුගලන් දෙදෙනා පවිටු ආශාවන් ඇත්තෝමය, පවිටු ආශාවන්ගේ වශයට ගියෝමය” යි.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
ඉක්බිති කොකාලික මහණතෙම ආසනයෙන් නැගිට බුදුන් වැඳ, පැදකුණුකොට ගියේය. ගිය නොබෝ වේලාවකින් කොකාලික මහණහුගේ අබ ඇට පමණ පිළිකාවලින් මුළු සිරුර වැසුණේ වේ. අබ ඇට පමණ වී, මුං ඇට පමණවිය. මුං ඇට පමණ වී, කොල්ලු ඇට පමණ විය. කොල්ලු ඇට පමණ වී, ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණ වී, ඩෙබර ගෙඩි පමණ විය. ඩෙබර ගෙඩි පමණ වී, නෙල්ලි ගෙඩි පමණ විය. නෙල්ලි ගෙඩි පමණ වී, බෙලි ගැට පමණ විය. බෙලි ගැට පමණ වී, බෙලි පමණ විය. බෙලි පමණ වී, බිඳුණේය. සැරවද, ලෙයද වැගුරුණේය. විෂ ගිලින ලද මසෙකු මෙන් මේ තෙමේ කෙසෙල් කොළවල සයනය කරයි.
ඉක්බිති තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙමේ කොකාලික මහණ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, අහසෙහි සිට, කොකාලික මහණහට, “කොකාලිකය, සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත පහදින්න. සැරියුත්, මුගලන් දෙනම සිල්වත්ය” යි කීයේය.
- “ඇවැත්නි, ඔබ කවරෙක්ද?”
“මම තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මයෙක්මි.”
“ඇවැත්නි, ඔබ අනාගාමීයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දේ නොවේද? මෙහි පැමිණ කොහි හැසිරෙහිද? තොපගේ මේ අපරාධය පළමුකොට බලව.”
ඉක්බිති කොකාලික මහණහට තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙම මේ ගාථාවන් කීයේය.
1. නපුරු වචන කියන්නාවු බාලතෙම තමන් යමකින් සිඳීද, උපන් මනුෂ්‍යයාගේ කටේ එබඳු කෙටේරියක් ඇත.
2. යමෙක් නින්දා කළ යුත්තෙකුට ප්‍රශංසා කෙරේද? යමෙක් ප්‍රශංසාර්හද, ඔහුට හෝ නින්දා කරයිද, හෙතෙම මුවින් පාපයක් රැස්කරයි. ඒ පාපයෙන් සැපක් නොවිඳී.