10. 2. 4. 5.
5. කත්ථිවිකත්ථිය සූත්රය
එක් කාලයෙක්හි ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ චෙදී ජනපදයෙහි සහජාති නම් ගම වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘ඇවැත්නි’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කත්ථී (තමා ගුණ දක්වන) වෙයි, විකත්ථී (විශේෂයෙන් තමා ගුණ දක්වන) වෙයි. අධිගමයන්හි ‘මම ප්රථමධ්යානයට සමවදිමියිද, නැගිටිමියිද. මම ද්වීතීයධ්යානයට සමවදිමියිද, නැගිටිමියිද. මම තුන්වෙනිධ්යානයට සමවදිමියිද, නැගිටිමියිද. මම සතරවෙනිධ්යානයට සමවදිමියිද, නැගිටිමියිද. මම ආකාශානඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද. මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද. මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද. මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද. මම සඤ්ඤාවෙදයිතනිරොධයට සමවදිමියිද, නැගිටිමියිදැ’යි කියයි.”
“ඒ ඔහුට ධ්යානයන්ට සමවැදීමෙහි දක්ෂ, අනුන්ගේ සිත් දැනීමේ දක්ෂ, අනුන්ගේ සිතේ පැවැත්ම දැනීමෙහි දක්ෂ, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්රාවකයෙක් හෝ, ප්රශ්න කෙරෙයි, විමසයි, සාකච්ඡා කරයි. හෙතෙම ධ්යාන කරණ, සමවැදීමට දක්ෂ, අනුන්ගේ සිත් දැනීමෙහි දක්ෂ, අනුන්ගේ සිත්හි පැවැත්මෙහි දක්ෂ, තථාගතයන් වහන්සේ විසින් හෝ තථාගත ශ්රාවකයන් විසින් ප්රශ්න කරණු ලබන්නේ, විමසනු ලබන්නේ, කථා කරණු ලබන්නේ නිසරු බවට පැමිණේද, හානියට පැමිණේද, අක්රමයට පැමිණේද, ව්යසනයට පැමිණේද, අක්රමවූ ව්යසනයට පැමිණේද.”
“ඒ මොහු ධ්යාන කරණ සුළු තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්රාවකයෙක් හෝ, මෙසේ සිතින් සිත පතුරුවා මෙනෙහි කෙරෙයි. ‘කිමෙක්ද මේ ආයුෂ්මත් තෙමේ කත්ථී වෙයි, විකත්ථී වෙයි, අධිගමයන්හි “මම ප්රථමධ්යානයට සමවදිමියිද, නැගිටිමියිද ... මම සඤ්ඤාවෙදයිතනිරොධයට සමවදිමියිද, නැගිටිමියිදැ”යි කියා.’”
“තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්රාවකයෙක් හෝ මෙසේ සිතින් සිත පතුරුවා දනී:”
“1. මේ ආයුෂ්මත් තෙම බොහෝ කාලයක් ශීලයන්හි බිඳීම කරන්නේය. සිදුරු කරන්නේය. පුල්ලි තබන්නේය. කිලුටු කරන්නේය. නිතර නොරක්නේය. නිතර පැවැත්මක් නැත. මේ ආයුෂ්මත් තෙමේ දුශ්ශීලය. දුසිල් බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ලා පිරිහීමකි.”
“2. මේ ආයුෂ්මත් තෙම අශ්රද්ධාවත්ය. අශ්රද්ධා බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ලා පිරිහීමකි.”
“3. මේ ආයුෂ්මත් තෙම බොහෝ ඇසූ පිරූ තැන් නැත්තේය. අචාරශීලී නොවේ. ඇසූ පිරූ තැන් නැති බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ලා පිරිහීමකි.”
“4. මේ ආයුෂ්මත් තෙම අකීකරුය. අකීකරුකම වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ලා පිරිහීමකි.”
“5. මේ ආයුෂ්මත් තෙම ලාමක මිත්රයන් ඇත. ලාමක මිත්රයන් ඇති බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ලා පිරිහීමකි.”
“6. මේ ආයුෂ්මත් තෙම කුශීතය. කුශීතකම වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ලා පිරිහීමකි.”