10. 2. 3. 7.
කාකාසද්‍ධම්ම සූත්‍රය
[සාවත්ථියෙහි දී ය]
77. “මහණෙනි, කපුටුතෙම අයහපත් ස්වභාව දහයකින් යුක්තය. කවර දසයකින්ද යත්? බිය, සැක නැත්තේය. බුහුටිය. තෘප්ත නුවූයේය. බොහෝ කන්නේද වේ. රෞද්‍රය. කරුණා නැත්තේය. දුර්‍වලය. නපුරුකොට හැඬීම කරන්නේය. මුළා සිහි ඇත්තේය. නරක දුක් විඳින්නේය. මහණෙනි, කපුටු තෙම අයහපත් ස්වභාව දසයෙන් යුක්තවූයේය.
“මහණෙනි, එසේම පවිටු භික්‍ෂුව අයහපත් ස්වභාව දසයකින් යුක්තවූයේ වේ. කවර දසයකින්ද යත්, බිය, සැක නැත්තේය. බුහුටිද, තෘෂ්ණා වූයේද, බොහෝ කන්නේද වේ. රෞද්‍රය. කරුණා නැත්තේය. දුර්‍වලද, නපුරුකොට හැඬීම කරන්නේද වේ. මුළා සිහි ඇත්තේය. නරක දුක් විඳින්නේද වේ. මහණෙනි, පවිටු භික්‍ෂුව මේ අයහපත් ස්වභාවයෙන් යුක්තවූයේ වේ.
10. 2. 3. 8.
නිඝණ්ඨාසද්‍ධම්ම සූත්‍රය
[සාවත්ථියෙහි දී ය]
78. “මහණෙනි, නිඝණ්ඨයෝ මේ අයහපත් ස්වභාව දසයකින් සමන්විත වෙත්. කවර දසයකින්ද යත්? මහණෙනි, නිඝණ්ඨයෝ දුශ්ශීලයහ. මහණෙනි, නිඝණ්ඨයෝ ලජ්ජා නැත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ බිය නැත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ අසත්පුරුෂයන්ට භක්ති ඇත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ තමන් උසස් කරන්නාහ. අනුන් පහත් කරන්නාහ. මහණෙනි, නිඝණ්ඨයෝ තමාගේ දෘෂ්ඨිය අල්ලා ගත්තාහුය. තදින් ගත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ නැති ගුණ පෙන්වන්නාහ. මහණෙනි, නිඝණ්ඨයෝ ලාමක බලාපොරොත්තු ඇත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ වැරදි හැඟීම් ඇත්තාහුය. මහණෙනි, නිඝණ්ඨයෝ මේ කරුණු දහයෙන් යුක්තවූවාහුය.
10. 2. 3. 9.
දසාඝතවත්‍ථු සූත්‍රය
[සාවත්ථියෙහි දී ය]
79. “මහණෙනි, වෛර කාරණා මේ දසයක් වෙත්. කවර දසයක්ද යත්? මට අනර්ත්‍ථයක හැසුරුණේයයි වෛරය බඳී. මට අනර්ත්‍ථයක හැසිරේයයි වෛරය බඳී. මට අනර්ත්‍ථයක හැසිරෙන්නේයයි වෛරය බඳී. මාගේ ප්‍රිය මනාපයාට අනර්ත්‍ථයක හැසුරුණේය, හැසිරෙන්නේයයි වෛරය බඳී. මාගේ අප්‍රියයාට අමනාපයාට අර්ත්‍ථයක හැසුරුණේය, හැසිරෙයි, හැසිරෙන්නේයයි වෛරය බඳී. අස්ථානයෙහිද කිපෙයි. මහණෙනි, මේ වෛර කාරණා දසයයෙකි.
10. 2. 3. 10.
දසාඝතපටිවිනය සූත්‍රය
[සාවත්ථියෙහි දී ය]
80. “මහණෙනි, වෛරය හික්මවන කරුණු දහයක් වෙත්. කවර දසයක්ද යත්? ‘මට අනර්ත්‍ථයක හැසුරුණේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මට අනර්ත්‍ථයක හැසිරෙයි. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මට අනර්ත්‍ථයක හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මාගේ ප්‍රියයාට, මනාපයාට අනර්ත්‍ථයක හැසුරුණේය. හැසිරෙයි, හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මාගේ අප්‍රියයාට, අමනාපයාට යහපතක හැසුරුනේය. හැසිරෙයි, හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. අස්ථානයෙහිද නොකිපෙයි. මහණෙනි, මේ දශය වෛරය සංසිඳුවන කරුණු වෙත්.”
ආකඞ්ඛ වර්‍ගය නිමි.
එහි උද්දානය:
ආකඞ්ඛ, කණ්ටක, ඉට්ඨ, වඩ්ඪි, මිගසාලා, අභබ්බ, කාක, නිගණ්ඨ සහ වත්ථු දෙක (ආඝාතවත්ථු, ආඝාතපටිවිනය) යැයි සූත්‍ර දසයකි.