10. 2. 3. 8.
නිඝණ්ඨාසද්‍ධම්ම සූත්‍රය
[සාවත්ථියෙහි දී ය]
78. “මහණෙනි, නිඝණ්ඨයෝ මේ අයහපත් ස්වභාව දසයකින් සමන්විත වෙත්. කවර දසයකින්ද යත්? මහණෙනි, නිඝණ්ඨයෝ දුශ්ශීලයහ. මහණෙනි, නිඝණ්ඨයෝ ලජ්ජා නැත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ බිය නැත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ අසත්පුරුෂයන්ට භක්ති ඇත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ තමන් උසස් කරන්නාහ. අනුන් පහත් කරන්නාහ. මහණෙනි, නිඝණ්ඨයෝ තමාගේ දෘෂ්ඨිය අල්ලා ගත්තාහුය. තදින් ගත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ නැති ගුණ පෙන්වන්නාහ. මහණෙනි, නිඝණ්ඨයෝ ලාමක බලාපොරොත්තු ඇත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ වැරදි හැඟීම් ඇත්තාහුය. මහණෙනි, නිඝණ්ඨයෝ මේ කරුණු දහයෙන් යුක්තවූවාහුය.
10. 2. 3. 9.
දසාඝතවත්‍ථු සූත්‍රය
[සාවත්ථියෙහි දී ය]
79. “මහණෙනි, වෛර කාරණා මේ දසයක් වෙත්. කවර දසයක්ද යත්? මට අනර්ත්‍ථයක හැසුරුණේයයි වෛරය බඳී. මට අනර්ත්‍ථයක හැසිරේයයි වෛරය බඳී. මට අනර්ත්‍ථයක හැසිරෙන්නේයයි වෛරය බඳී. මාගේ ප්‍රිය මනාපයාට අනර්ත්‍ථයක හැසුරුණේය, හැසිරෙන්නේයයි වෛරය බඳී. මාගේ අප්‍රියයාට අමනාපයාට අර්ත්‍ථයක හැසුරුණේය, හැසිරෙයි, හැසිරෙන්නේයයි වෛරය බඳී. අස්ථානයෙහිද කිපෙයි. මහණෙනි, මේ වෛර කාරණා දසයයෙකි.
10. 2. 3. 10.
දසාඝතපටිවිනය සූත්‍රය
[සාවත්ථියෙහි දී ය]
80. “මහණෙනි, වෛරය හික්මවන කරුණු දහයක් වෙත්. කවර දසයක්ද යත්? ‘මට අනර්ත්‍ථයක හැසුරුණේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මට අනර්ත්‍ථයක හැසිරෙයි. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මට අනර්ත්‍ථයක හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මාගේ ප්‍රියයාට, මනාපයාට අනර්ත්‍ථයක හැසුරුණේය. හැසිරෙයි, හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ‘මාගේ අප්‍රියයාට, අමනාපයාට යහපතක හැසුරුනේය. හැසිරෙයි, හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. අස්ථානයෙහිද නොකිපෙයි. මහණෙනි, මේ දශය වෛරය සංසිඳුවන කරුණු වෙත්.”
ආකඞ්ඛ වර්‍ගය නිමි.
එහි උද්දානය:
ආකඞ්ඛ, කණ්ටක, ඉට්ඨ, වඩ්ඪි, මිගසාලා, අභබ්බ, කාක, නිගණ්ඨ සහ වත්ථු දෙක (ආඝාතවත්ථු, ආඝාතපටිවිනය) යැයි සූත්‍ර දසයකි.
4. ථෙර වර්‍ගය
10. 2. 4. 1.
බාහුන (වාහන) සූත්‍රය
81. එක් කාලයෙක් භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර, ගග්ගරා පොකුණු තෙර වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් බාහුන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් බාහුන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“ස්වාමීනි, කරුණු කීයකින් තථාගත තෙමේ බැහැරවී සිටියේ, වෙන්වී සිටියේද, මිදුණේද, සීමා රහිත සිතින් වාසය කරයිද?”
“බාහුනය, තථාගත තෙම ධර්‍ම දහයකින් යුක්තවූයේ බැහැර සිටියේය, වෙන්ව සිටියේය, මිදුණේය, සීමා ඉක්මවූ සිතින් වාසය කරයි. කවර දසයකින්ද යත්? බාහුනය, තථාගතයන් වහන්සේ රූපයෙන් බැහැර සිටියේය, වෙන්ව සිටියේය, මිදුනේය, සීමාවවූ සිතින් වෙසෙයි. වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරයෙන්, විඤ්ඤාණයෙන්, ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, දුක්වලින්, කෙලෙස්වලින්, බාහුනය, තථාගතයන් වහන්සේ බැහැර සිටියේය, වෙන්ව සිටියේය, මිදුණේය, සීමා ඉක්මවූ සිතින් වෙසෙයි.
“බාහුනය, යම්සේ ජලයෙහි හටගත්, ජලයෙහි වැඩුණු, උපුලක් හෝ, පියුමක් හෝ, හෙළ පියුමක් හෝ, දිය හා නොගැටී, දියෙන් උඩට පැන සිටීද, බාහුනය, එසේම තථාගත තෙම මේ දශ ධර්‍මයන්ගෙන් බැහැරව සිටියේ, වෙන්ව සිටියේ, මිදුණේ, සීමා ඉක්මවූ සිතින් වෙසෙයි.”
10. 2. 4. 2.
සාසනවුද්‍ධි සූත්‍රය
සාවත්ථියෙහිදී ය.
82. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: