10. 2. 3. 5.
මිගශාලා සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවා, පාත්‍ර සිවුරු ගෙන, මිගශාලා නම් උපාසිකාවගේ ගෘහය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති, මිගශාලා නම් උපාසිකා තොමෝ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මිගශාලා උපාසිකාව ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාය:
“ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්‍මය කෙසේ කෙසේ නම් දැනගත යුත්තේද, යම් පරිද්දෙකින් පරලෙව්හිදී බ්‍රහ්මචාරී තෙමේද, අබ්‍රහ්මචාරී තෙමේද, දෙදෙන පරලොව සමාන ගති ඇත්තාහු වෙත්ද? ස්වාමීනි, මාගේ පුරාණ පිය තෙම මෛථුනයෙන්, ග්‍රාම ධර්මයෙන් දුරුවූ, වෙන්වූ, බ්‍රහ්මචාරී පුද්ගලයෙක් වූයේය. හෙතෙම කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, මාගේ ඉසිදත්ත නම් පියවරයාද බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වෙන්වූයේ වේ. ස්වකීය භාර්‍ය්‍යාව සහිතව සතුටුවූයේ, හෙතෙමේද කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
“ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දත යුතුද? යම් හෙයකින් බ්‍රහ්මචාරී පුද්ගලයාද, අබ්‍රහ්මචාරී පුද්ගලයාද දෙදෙන පරලෙව්හිදී සමාන ගති ඇතිවන්නාහුද? “නැගණියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය මෙසේ ප්‍රකාශ කරණ ලද්දේය.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මිගශාලා උපාසිකාවගේ ගෘහයෙහි පිණ්ඩපාතය ගෙන, හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී සේක.
“ස්වාමීනි, මම මෙහි පෙරවරු වේලාවෙහි හැඳ පොරවා පා සිවුරු රැගෙන මිගශාලා උපාසිකාවගේ නිවෙස යම් තැනෙක්හිද, එහි පැමිණියෙමි. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ සිටියෙමි. ස්වාමීනි, ඉක්බිති, මිගශාලා නම් උපාසිකාව මා යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියාය. ස්වාමීනි, එකත්පසෙක සිටි මිගශාලා උපාසිකාව, මට මෙසේ කීවාය:
“ආනන්‍ද ස්ථවිරයිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්‍මය කෙසේ කෙසේ නම් දැනගත යුත්තේද, යම් පරිද්දෙකින් පරලෙව්හිදී බ්‍රහ්මචාරී තෙමේද, අබ්‍රහ්මචාරී තෙමේද, දෙදෙන පරලොව සමාන ගති ඇත්තාහු වෙත්ද? ස්වාමීනි, මාගේ පුරාණ පිය තෙම මෛථුනයෙන්, ග්‍රාම ධර්මයෙන් දුරුවූ, වෙන්වූ, බ්‍රහ්මචාරී පුද්ගලයෙක් වූයේය. හෙතෙම කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, මාගේ ඉසිදත්ත නම් පියවරයාද බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වෙන්වූයේ වේ. ස්වකීය භාර්‍ය්‍යාව සහිතව සතුටුවූයේ, හෙතෙමේද කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
“ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දත යුතුද? යම් හෙයකින් බ්‍රහ්මචාරී පුද්ගලයාද, අබ්‍රහ්මචාරී පුද්ගලයාද දෙදෙන පරලෙව්හිදී සමාන ගති ඇතිවන්නාහුද? ඇසුවාය. ස්වාමීනි, මෙසේ කී කල්හි මම මිගශාලා උපාසිකාවට “නැගණියෙනි, මෙසේ වනාහි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය” යි මෙසේ කීවෙමි.”
“ආනන්‍දය, බාලවූ, අව්‍යක්තවූ, ලදරු මවක්වූ, ළදරු ප්‍රඥා ඇති මිගශාලා උපාසිකාව කවරීද? පුරුෂ පුද්ගලයන්ගේ උස් පහත් නුවණ කවරේද?
“ආනන්‍දය, ලෝකයෙහි මේ පුද්ගලයන් දස දෙනෙක් විද්‍යමාන වෙත්. කවර දස දෙනෙක්ද යත්,
1. “ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ඒ සිතින් දැක කෙළසුන්ගෙන් මිදීමද, නුවණින් දැක කෙළෙසුන්ගෙන් මිදීමද, තත්වූ පරිද්දෙන් නොදනී. යම් තැනෙක්හි ඒ දුශ්ශීලබව ඉතිරි නොකර නිරුද්‍ධ වේද, ඇසීමෙන් පවා නොකරණ ලද්දේ වේ. බහුශ්‍රුත භාවයෙන්ද නොකරණ ලද්දේ වේ. දෘෂ්ටියෙන්ද ප්‍රතිවෙධ නොකරණ ලද්දේ වේ. තාවකාලික විමුක්තියක්ද නොලබයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට යයි. උසස්වීමකට නොයයි. පිරිහීමට යන ස්වභාව ඇත්තේ වේ. උසස්වීමට නොයන සුළු වේ.