10. 2. 3. 4.
4. දස අරියවඩ්ඪී සූත්‍රය
[සාවත්ථි]
74. “මහණෙනි, වැඩීම් දහයකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍ය වැඩීමෙන් වැඩෙයි. ශරීරයාගේ හරය ගන්නේද, ලාභය ගන්නේද වේ.
“කවර දහයකින්ද යත්? කෙත්වලින් වැඩෙයි. ධන ධාන්‍යයෙන් වැඩෙයි. අඹුදරුවන්ගෙන් වැඩෙයි. දාස කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙයි. සිවුපා සතුන්ගෙන් වැඩෙයි. ශ්‍රද්‍ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ඇසීමෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥාවෙන් වැඩෙයි. මහණෙනි, වැඩීම් දහයකින් වැඩෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍ය වැඩීමෙන් වැඩෙයි. ශරීරයාගේ හරය ගන්නේද, ලාභය ගන්නේද වේ.
“යමෙක්තෙම මේ ලෝකයෙහි ධනයෙන්ද, ධාන්‍යයෙන්ද, අඹු දරුවන්ගෙන්ද, සිවුපා සතුන්ගෙන්ද. ඤාති මිත්‍රයන්ගෙන්ද, නැවතද රජුන්ගෙන්ද වැඩේද, යශස ඇත්තාවූ, පුදන ලද්දාවූ, හෙතම වස්තු ඇත්තේ වේ.
යම් කෙනෙක් මේ ලෝකයෙහි ශ්‍රද්‍ධාවෙන් වැඩේද, ශීලයෙන් වැඩේද, ප්‍රඥාවෙන්ද, ත්‍යාගයෙන්ද යන දෙකින් වැඩේද, එබඳු ඤාණවන්ත, සත්පුරුෂ හෙතෙමේ මෙලොවම දෙලොවින් වැඩෙයි.”
10. 2. 3. 5.
මිගශාලා සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවා, පාත්‍ර සිවුරු ගෙන, මිගශාලා නම් උපාසිකාවගේ ගෘහය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති, මිගශාලා නම් උපාසිකා තොමෝ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මිගශාලා උපාසිකාව ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාය:
“ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්‍මය කෙසේ කෙසේ නම් දැනගත යුත්තේද, යම් පරිද්දෙකින් පරලෙව්හිදී බ්‍රහ්මචාරී තෙමේද, අබ්‍රහ්මචාරී තෙමේද, දෙදෙන පරලොව සමාන ගති ඇත්තාහු වෙත්ද? ස්වාමීනි, මාගේ පුරාණ පිය තෙම මෛථුනයෙන්, ග්‍රාම ධර්මයෙන් දුරුවූ, වෙන්වූ, බ්‍රහ්මචාරී පුද්ගලයෙක් වූයේය. හෙතෙම කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, මාගේ ඉසිදත්ත නම් පියවරයාද බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වෙන්වූයේ වේ. ස්වකීය භාර්‍ය්‍යාව සහිතව සතුටුවූයේ, හෙතෙමේද කළුරිය කෙළේය. සකෘදාගාමී සත්ත්‍වතෙම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
“ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද මේ ධර්මය කෙසේ කෙසේ නම් දත යුතුද? යම් හෙයකින් බ්‍රහ්මචාරී පුද්ගලයාද, අබ්‍රහ්මචාරී පුද්ගලයාද දෙදෙන පරලෙව්හිදී සමාන ගති ඇතිවන්නාහුද? “නැගණියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය මෙසේ ප්‍රකාශ කරණ ලද්දේය.”