10. 2. 2. 4.
අවෙච්චප්පසන්න සූත්‍රය
[සැවැත්නුවර දී ය]
64. “මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්තවූවාහුද, ඒ සියල්ලෝ සොවාන්හ. ඒ සෝවාන් පුද්ගලයෝ පස් දෙනාට මෙහි නිෂ්ටාවෝ වෙත්. පස් දෙනෙකුට මෙය හැර නිෂ්ටා වෙත්. “කවර පස් දෙනෙකුට මෙහි නිෂ්ටාවෝ වෙත්ද? සත්වනවර රහත් වන පුද්ගලයාටද, සයවෙනි වාරය දක්වා අතරදී රහත්වන කොලොංකොල පුද්ගලයාටද, දෙවන වාරයේ රහත්වන එකබීජ පුද්ගලයාටද, සකෘදාගාමී පුද්ගලයාටද, යමෙක් මේ ආත්මයෙහි රහත්ද යන මේ පුද්ගලයන් පස් දෙනාට මෙහි නිෂ්ටාවෝ වෙත්.”
“කවර පස් දෙනෙකුට මෙය හැර පිටදී නිෂ්ටාවෝ වෙත්ද? පඤ්ච ශ්‍රද්‍ධාවාසයෙහි ආයුෂ අර්‍ධයක් අවසන් නොකර පිරිනිවෙන අන්තරා පරිනිබ්බායීද, අර්‍ධයක් අවසන්තොට පිරිනිවෙන උපච්චාපරිනිබ්බායීද, උත්සාහයෙන් කෙළෙස් නැති කරණ සසංඛාර පරිනිබ්බායීද, නිදුකින් ක්ලේශ පරිනිර්‍වාණය කරණ අසංඛාර පරිනිබ්බායිය, අවිහයේ සිට අකනිෂ්ටය දක්වා ගොස් කෙලෙස් නසන උද්‍ධංසොත අකනිඨගාමිණී යන මේ පස් දෙනාට මෙය හැර නිෂ්ටාවෝ වෙත්. මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි නිෂ්ටාවට පැමිණියාහුද, ඒ සියල්ලෝ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූවාහුය. ඒ දෘෂ්ටියෙන් යුක්තවූ මේ පස් දෙනාට මෙහි නිෂ්ටාවෝ වෙත්. මේ පස් දෙනාට මෙය හැර නිෂ්ටාවෝ වෙත්.
10. 2. 2. 5.
සාමණ්ඩකානී සූත්‍රය
65. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ රට නාලක ගමෙහි වාසය කරණ සේක. ඉක්බිති සාමණ්ඩකානී පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සාමණ්ඩකානී පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, “ඇවැත්නි, ශාරීපුත්‍රය, සැප දුක කිමෙක්දැ” යි ඇසීය.
“ඇවැත්නි, ඉපදීම දුකය, නොඋපදීම සැපය. ඇවැත්නි, ඉපදීම ඇති කල්හි සීත, උෂ්ණ, කනු කැමැත්ත, පිපාසය, මළමූත්‍ර පහකිරීම, ගිනිදෑම, දඬු වැදීම, ආයුධ වැදීම, යන මේ දුක් කැමති විය යුතුය. නෑයෝද, මිත්‍රයෝද, ඔහු කරා පැමිණ එක්වී දුක්යයි හඬත්. ඇවැත්නි, ඉපදීම ඇති කල්හි මේ දුක පැමිණේ.
ඇවැත්නි, නොඉපදීම ඇති කල්හි, මේ සැපය බලාපොරොත්තු විය යුතුය. සීතයක් නැත. උෂ්ණයක් නැත. බඩගින්නක් නැත. පිපාසාවක් නැත. මළමූත්‍ර පහකිරීමක් නැත. ගිනිදෑමක් නැත. දඬු වැදීමක් නැත. ආයුධ වැදීමක් නැත. මේ සැප කැමති විය යුතුයි. නෑයෝද, මිත්‍රයෝද ඔහු වෙත පැමිණ එක්වී කණගාටු නොවෙත්. ඇවැත්නි, නොඉපදීම ඇති කල්හි මේ සැපය බලාපොරොත්තු විය යුතුයි.”
10. 2. 2. 6.
දුතිය සාමණ්ඩ සූත්‍රය
66. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ රට නාලක ගමෙහි වාසය කරණ සේක. ඉක්බිති සාමණ්ඩකානී පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සාමණ්ඩකානී පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට, “ඇවැත්නි, ශාරීපුත්‍රය, මේ ධර්‍ම විනයෙහි කුමක් සැපද, කුමක් දුක්දැ” යි ඇසීය.