10. 2. 2. 5.
සාමණ්ඩකානී සූත්රය
65. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ මගධ රට නාලක ගමෙහි වාසය කරණ සේක. ඉක්බිති සාමණ්ඩකානී පරිබ්රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සාමණ්ඩකානී පරිබ්රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට, “ඇවැත්නි, ශාරීපුත්රය, සැප දුක කිමෙක්දැ” යි ඇසීය.
“ඇවැත්නි, ඉපදීම දුකය, නොඋපදීම සැපය. ඇවැත්නි, ඉපදීම ඇති කල්හි සීත, උෂ්ණ, කනු කැමැත්ත, පිපාසය, මළමූත්ර පහකිරීම, ගිනිදෑම, දඬු වැදීම, ආයුධ වැදීම, යන මේ දුක් කැමති විය යුතුය. නෑයෝද, මිත්රයෝද, ඔහු කරා පැමිණ එක්වී දුක්යයි හඬත්. ඇවැත්නි, ඉපදීම ඇති කල්හි මේ දුක පැමිණේ.
ඇවැත්නි, නොඉපදීම ඇති කල්හි, මේ සැපය බලාපොරොත්තු විය යුතුය. සීතයක් නැත. උෂ්ණයක් නැත. බඩගින්නක් නැත. පිපාසාවක් නැත. මළමූත්ර පහකිරීමක් නැත. ගිනිදෑමක් නැත. දඬු වැදීමක් නැත. ආයුධ වැදීමක් නැත. මේ සැප කැමති විය යුතුයි. නෑයෝද, මිත්රයෝද ඔහු වෙත පැමිණ එක්වී කණගාටු නොවෙත්. ඇවැත්නි, නොඉපදීම ඇති කල්හි මේ සැපය බලාපොරොත්තු විය යුතුයි.”
10. 2. 2. 6.
දුතිය සාමණ්ඩ සූත්රය
66. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ මගධ රට නාලක ගමෙහි වාසය කරණ සේක. ඉක්බිති සාමණ්ඩකානී පරිබ්රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සාමණ්ඩකානී පරිබ්රාජක තෙම ආයුෂ්මත් ශාරීපුත්රයන් වහන්සේට, “ඇවැත්නි, ශාරීපුත්රය, මේ ධර්ම විනයෙහි කුමක් සැපද, කුමක් දුක්දැ” යි ඇසීය.
“ඇවැත්නි, මේ ධර්ම විනයයෙහි නොඇලීම දුක්ය, ඇලීම සැපය. ඇවැත්නි, නොඇලීම ඇති කල්හි යන්නේද සැපක් යහපතක් නොලබයි. සිටියේද සැපක් යහපතක් නොලබයි. හුන්නේද, සැපක් යහපතක් නොලබයි. හෝනේද, ගමට ගියේද, වනයට ගියේද, රුක්මුලට ගියේද, හිස් ගෙවලට ගියේද, අවකාශ ස්ථානවලට ගියේද, සංඝයා මැදට ගියේද, සැපක් යහපතක් නොලබයි. ඇවැත්නි, නොඇලීම ඇති කල්හි මේ දුක කැමති විය යුතුයි.
(ධර්ම විනයයෙහි) ඇලීම ඇති කල්හි මේ සැප කැමති විය යුතුයි. යන්නේද සැපක් යහපතක් ලබයි. සිටියේ, හුන්නේ හෝ ගමට වැදුනේ ගෙදරට ගියේ, රුක් මුලට ගියේ, හිස් ගෙවලට ගියේ, අවකාශ ස්ථානවලට ගියේ, සඟ මැදට ගියේ, සැපක් යහපතක් විඳියි. ඇවැත්නි, ඇල්ම ඇති කල්හි මේ සැප බලාපොරොත්තු විය යුතුයි.”
10. 2. 2. 7.
නලකපාන සූත්රය
67. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි හැසිරෙන සේක් මහත් භික්ෂු සමූහයක් සමග නළපාන නම් කොසොල් රට වාසීන්ගේ නියම් ගමක් වේද, එහි විසූ සේක. එහි වනාහි භාග්යවතුන් වහන්සේ නළපාන ගමෙහි, පලාස වනයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ පොහෝ දිනයෙහි භික්ෂු සංඝයා පිරිවරා වැඩ හුන්නේ වේ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ රාත්රියෙහි බොහෝ වේලාවක්ම භික්ෂූන් සමග ධාර්මික කථාවෙන් කරුණු දක්වා, පෙන්වා, සමාදන් කරවා, තෙදගන්වා, සතුටු කරවා, තුෂ්ණීම්භූතවූ භික්ෂු සංඝයා බලා ආයුෂ්මත් ශාරීපුත්රයන් වහන්සේට ආමන්ත්රණය කළ සේක.
“ශාරීපුත්රය, භික්ෂු සංඝයා පහවූ නිදිබර ගතියෙන් යුක්තය. ශාරීපුත්රය, භික්ෂූන්ට ධර්ම කථාව කිරීමට ඒ ඔබට වැටහේවා. මාගේපිට රිදේ. ඒ නිසා මම නවතින්නෙමි.”