10. 2. 1. 9.
පබ්බජ්ජාපරිචීත සූත්රය
[සාවත්ථි නුවර]
“එහෙයින් මහණෙනි, මෙහි පැවිද්ද යම් සේද, අපගේ සිත පුරුදු කරණ ලද්දක්ද වන්නේය. උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන නොසිටිත්. අනිත්ය සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අනාත්ම සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අශුභ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. දෝෂ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. ලෝකයාගේ සම තත්ත්වයද විෂම තත්ත්වයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරන ලද්දේ වන්නේය. ලෝකයාගේ ඇතිවීමද, නැතිවීමද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කළේ වන්නේය. ලෝකයාගේ හටගැනීමද, විනාශයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරණ ලද්දේ වන්නේය. ප්රහාණ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නොඇලෙන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නිවණ යන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේයයි මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, යම් තැනක සිට මහණහට ප්රව්රජ්යාව පුරුදු කරණ ලද සිත වේද, උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන සිටිත්ද, අනිත්ය සංඥාව පුරුදු කරණ ලද සිත වේද, උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන සිටිත්ද, අනිත්ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දෝෂ දක්නා සංඥාව, ලෝකයාගේ සම තත්ත්වයද, විෂම තත්ත්වයද දැන ඒ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, ලෝකයාගේ හට ගැනීම හා විනාශයද දැන, ඒ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, දුරු කරණ සංඥාව පුරුදු කරණ ලද සිත වේද, නොඇලෙන සංඥාව පුරුදු කරනලද සිත වේද, නිවණ යන සංඥාව පුරුදු කරනලද සිත වේද, ඕහට මෙලොව රහත් ඵලයද, ස්කන්ධයන් පැවැත්මෙහි හේතුව ඇති කල්හි අනාගාමී බව හෝ වේ.”
10. 2. 1. 10.
ගිරිමානන්ද සූත්රය
එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ, “මහණෙනි,’ යි කියා භික්ෂූන් ආමන්ත්රණය කළ සේක. “ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ, ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වේ”. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ. භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළේය:
“ස්වාමීනි, ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් තෙම යම් තැනෙක්හිද, අනුකම්පා උපදවා එහි වඩිත්වා” යි කීහ.
“ආනන්දය, ඉදින් ඔබ ගිරිමානන්ද භික්ෂුව කරා පැමිණ, දස සංඥාව කියන්නෙහිය. යම් හෙයකින් ගිරිමානන්ද භික්ෂුවට දස සංඥාව අසා ඒ ලෙඩය ක්රමයෙන් සංසිඳෙන්නේය, යන මේ කාරණය විද්යමාන වේ.
“කවර දසයක්ද යත්?
අනිත්ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දෝෂ දක්නා සංඥාව, දුරු කරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්ය සංඥාව, හුස්ම ඉහළ පහළ ගැනීමේ සිහිය යන දසයයි.