10. 2. 1. 10.
ගිරිමානන්ද සූත්රය
එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ, “මහණෙනි,’ යි කියා භික්ෂූන් ආමන්ත්රණය කළ සේක. “ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ, ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වේ”. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ. භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළේය:
“ස්වාමීනි, ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් තෙම යම් තැනෙක්හිද, අනුකම්පා උපදවා එහි වඩිත්වා” යි කීහ.
“ආනන්දය, ඉදින් ඔබ ගිරිමානන්ද භික්ෂුව කරා පැමිණ, දස සංඥාව කියන්නෙහිය. යම් හෙයකින් ගිරිමානන්ද භික්ෂුවට දස සංඥාව අසා ඒ ලෙඩය ක්රමයෙන් සංසිඳෙන්නේය, යන මේ කාරණය විද්යමාන වේ.
“කවර දසයක්ද යත්?
අනිත්ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දෝෂ දක්නා සංඥාව, දුරු කරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්ය සංඥාව, හුස්ම ඉහළ පහළ ගැනීමේ සිහිය යන දසයයි.
1. “ආනන්දය, අනිත්ය සංඥාව කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලකට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ රූපය අනිත්යය, වේදනාව අනිත්යය, සංඥාව අනිත්යය, සංස්කාරය අනිත්යය, විඤ්ඤාණය අනිත්යයයි, මෙසේ ප්රත්යවෙක්ෂා (නුවණින් බැලීම) කරයි. ‘මෙසේ මේ මාගේය’ යි ඇලීම ඇතිකර ගත් ධර්ම පස කෙරෙහි අනිත්යය අනුව බලමින් වාසය කරයි. ආනන්දය, මේ අනිත්ය සංඥාවය.
2. “ආනන්දය, අනාත්ම සංඥාව කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ ඇස අනාත්මය, රූපය අනාත්මය, කණ අනාත්මය, ශබ්දය අනාත්මය, නාසය අනාත්මය, ගඳ සුවඳ අනාත්මය, දිව අනාත්මය, රසය අනාත්මය, ශරීරය අනාත්මය, ස්පර්ශය අනාත්මය, සිත අනාත්මය, සිතට වැටහෙන දෙය අනාත්මයයි මෙසේ කල්පනා කරයි. මෙසේ තමා තුළ පිහිටියාවූද, බැහැර සිටියාවුද, සසර දික් කරණ ධර්මයන් කෙරෙහි අනාත්මය අනුව බලමින් වාසය කරයි. ආනන්දය, මේ අනාත්ම සංඥාවයයි කියනු ලැබේ.
3. “ආනන්දය, අශුභ සංඥාව කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම දෙපතුලින් උඩ මස්තකයෙහි කෙශයන්ගෙන් යට සම කෙළවරකොට ඇති මේ ශරීරයෙහි නානා ප්රකාර අශුභ දේ නුවණින් කල්පනා කරයි. මේ ශරීරයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, අතුනුබහන්, නොපැසුනු අහර, අශූචි, පිත, සෙම, සැරව, ලෙය, ඩහදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, ඇට මිදුළු, මූත්ර යන මේ නානා ප්රකාර අශූචිත් ප්රත්යවෙක්ෂා කරයි. ආනන්දය, මේ අශුභ සංඥායයි කියනු ලැබේ.
4. “ආනන්දය, දෝෂ දක්නා සංඥාව කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, මේ ශරීරය බොහෝ දුක්ය, බොහෝ දෝෂය, මෙසේ මේ ශරීරයෙහි යම් සේ ඇස් රෝගය, කන් රෝගය, නාසා රෝගය, දිවේ රෝගය, ශරීරයෙහි රෝගය, හිසේ රෝගය, කර්ණ රෝගය, කටේ රෝගය,