10. 2. 1. 8.
සබ්බ ධම්ම කිම්මුල සූත්රය
[සාවත්ථි නුවර]
“මහණෙනි, ඉදින් අන්ය තීර්ත්ථක පරිබ්රාජකයෝ, ‘ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් කොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමකින් හටගත්තාහුද, කුමකින් පහළවූවාහුද, කුමක රැස්වෙත්ද, කුමක් ප්රධානකොට ඇත්තාහුද, කුමක් අධිපතිකොට ඇත්තාහුද, කුමක් අධිකකොට ඇත්තාහුද, කුමක් හරයකොට ඇත්තාහුද, කුමකට බැසගත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අවසන්කොට ඇත්තාහුදැ’ යි මෙසේ විචාරන්නාහුය. “මහණෙනි, මෙසේ විචාරණ ලද තොපි ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ට කුමක් නම් ප්රකාශ කරන්නාහුදැ” යි විචාළ සේක.
“ස්වාමීනි, අපේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ අධිපතිකොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කියමනේ තේරුම භාග්යවතුන් වහන්සේටම වැටහේ නම් යහපත. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය” යි කීවාහුය.
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මේ සූත්රය වදාළ සේක”
“මහණෙනි, ඉදින් අන්ය තීර්ත්ථක පරිබ්රාජකයෝ, ‘ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් කොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමකින් හටගත්තාහුද, කුමකින් පහළවූවාහුද, කුමක රැස්වෙත්ද, කුමක් ප්රධානකොට ඇත්තාහුද, කුමක් අධිපතිකොට ඇත්තාහුද, කුමක් අධිකකොට ඇත්තාහුද, කුමක් හරයකොට ඇත්තාහුද, කුමකට බැසගත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අවසන්කොට ඇත්තාහුදැ’ යි මෙසේ විචාරන්නාහුය. මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ට මෙසේ පිළිතුරු දිය යුතුය:
‘ඇවැත්නි, සියලු ධර්මයෝ කැමැත්ත මුල්කොට ඇත්තාහ. සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගත්තාහුය. සියලු ධර්මයෝ ස්පර්ශයෙන් පහළවූවාහුය. සියලු ධර්මයෝ වේදනාවෙහි වැටෙන්නාහුය. සියලු ධර්මයෝ සිත එකඟ කිරීම මුල්කොට ඇත්තාහ. සියලු ධර්ම සිහිය අධිපතිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ ප්රඥාව මත්තෙහිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ මිදීම හරයකොට ඇත්තාහ. සියලු ධර්මයෝ නිවණට බැසගත්තාහ. සියලු ධර්මයෝ නිවණ අවසන්කොට ඇත්තාහ’ යි මෙසේ ප්රකාශ කරව්. මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ට මෙසේ ප්රකාශ කරන්නාහුය.”
10. 2. 1. 9.
පබ්බජ්ජාපරිචීත සූත්රය
[සාවත්ථි නුවර]
“එහෙයින් මහණෙනි, මෙහි පැවිද්ද යම් සේද, අපගේ සිත පුරුදු කරණ ලද්දක්ද වන්නේය. උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඩගෙන නොසිටිත්. අනිත්ය සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අනාත්ම සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. අශුභ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. දෝෂ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. ලෝකයාගේ සම තත්ත්වයද විෂම තත්ත්වයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරන ලද්දේ වන්නේය. ලෝකයාගේ ඇතිවීමද, නැතිවීමද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කළේ වන්නේය. ලෝකයාගේ හටගැනීමද, විනාශයද දැන අපගේ සිත ඒ සංඥාව පුරුදු කරණ ලද්දේ වන්නේය. ප්රහාණ සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නොඇලෙන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේය. නිවණ යන සංඥාව පුරුදු කරණ ලද අපගේ සිත වන්නේයයි මෙසේ හික්මිය යුතුයි.