10. 2. 1. 3.
3. ඨිතිපරිහානි සූත්‍රය
[සැවැත්නුවර නිදානයයි]
53. “මහණෙනි, මම කුශල ධර්මයන්හි නැවතීමද වර්‍ණනා නොකරමි. පිරිහීම ගැන කියනුම කවරේද? මහණෙනි, මම කුශල ධර්මයන්හි වැඩීම වර්‍ණනා කරමි. නැවතීම වර්‍ණනා නොකරමි. පිරිහීම වර්‍ණනා නොකරමි. මහණෙනි, කෙසේ වනාහි කුශල ධර්‍මයන්හි නැවතීම නොවේද? වැඩීම නොවේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් පමණක ශ්‍රද්‍ධාවෙන්, ශීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වැටහීමෙන් යුක්තවේද, ඔහුට ඒ ධර්මයෝ නොනවතිත්, නොවැඩෙත්. මහණෙනි, කුශල ධර්මයන්හි නැවතීම නොවේ, වෘද්ධිය නොවේ, මේ හානියයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි කුශල ධර්මයන්හි හානිය වේ. නැවතීම හා වැඩීම නොවේ.
“මහණෙනි, කුශල ධර්මයන්හි කෙසේ නැවතීම වේද, හානිය, වෘද්‍ධිය නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් පමණ ශ්‍රද්‍ධාවෙන්, ශීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වැටහීමෙන් යුක්තවේද, ඔහුට ඒ ධර්මයෝ නොපිරිහෙත්, නොවැඩෙත්. මහණෙනි, කුශල ධර්මයන්හි මේ නැවතීම කියමි. හානිය නොකියමි. වෘද්‍ධිය නොකියමි. මහණෙනි, මෙසේ වනාහි කුශල ධර්මයන්හි නැවතීම කියමි, හානිය නොකියමි.
“මහණෙනි, කුශල ධර්මයන්හි කෙසේ වෘද්‍ධිය වේද, නැවතීම නෙවේද? පරිහානිය නොවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් පමණ ශ්‍රද්‍ධාවෙන්, ශීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වැටහීමෙන් යුක්තවේද, ඔහුට ඒ ධර්මයෝ නොසිටිත්, නොපිරිහෙත්. මහණෙනි, කුශල ධර්මයන්හි මේ වෘද්‍ධිය කියමි. නැවතීම නොකියමි. පිරිහීම නොකියමි. මහණෙනි, මෙසේ වනාහි කුශල ධර්මයන්හි වෘද්‍ධිය වේ. නැවතීම නොවේ. පිරිහීම නොවේ.”
“මහණෙනි, මහණතෙම අනුන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂ නොවේද, මහණෙනි, තමාගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂයෙක් වන්නෙමියි තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
“මහණෙනි, කෙසේ මහණතෙම තමාගේ සිතේ ආකාරය දැනීමෙහි දක්‍ෂ වේද? මහණෙනි, යම්සේ බාලවූ, තරුණවූ, සැරසීමට කැමති ස්ත්‍රියක් හෝ, පුරුෂයෙක් හෝ, කැඩපතක හෝ, පිරිසිදු බබලන දිය බඳුනක හෝ, සිය මුහුන බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, පෙනේද, ඒ දූවීල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම්කරයි. එහි දූවිල්ලක් හෝ කිලුටක් නොදකීද, ඉන් සම්පූර්‍ණ අදහස් ඇත්තේ, ‘මට ඒකාන්තයෙන් ලාභයකි, ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටු වූයේ වේ.
“මහණෙනි, එසේම මහණහට කුශල ධර්‍මයන්හි නුවණින් සිහි කිරීම බොහෝ උපකාරවේ. බොහෝකොට දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වාසය කරම්ද, දැඩි ලෝභය බහුලකොට නැතිව වාසය කරම්ද, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරම්ද, කෝප නොවූ සිතින් බොහෝකොට වාසය කරම්ද, සිත කය දෙකේ මැලි ගතියෙන් මඩනා ලද්දේ බොහෝ කොට වාසය කරන්නෙම්ද, සිත කය දෙකේ පහවූ මැලි ගතියෙන් වාසය කරන්නෙම්ද, විසුරුණු සිතින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට නොවිසුරුණු සිතින් වාසය කරම්ද, බොහෝකොට සැක ඇතිව වාසය කරම්ද, පහවූ විචිකිච්ඡා ඇතිව බොහෝ සේ වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ කරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ නොකරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ කිලිටි සිතින් වාසය කරම්ද, බොහෝ සේ නොකිලිටි සිතින් වාසය කරම්ද, දාහ සහිතවූ කයින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට කුසීතව වාසය කරම්ද, බොහෝකොට පටන්ගත් වීර්‍ය්‍ය ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ නැති සිත් ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ සිත් ඇතිව වාසය කරම්දැයි කියායි.
“මහණෙනි, ඉදින් මහණතෙම, නුවණින් සිහි කරන්නේ, ‘බොහෝකොට දැඩි ලෝභ ඇතිව වාසය කරමි, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරමි, බොහෝකොට මැලි ගතියෙන් මඩනා ලදුව වාසය කරමි, බොහෝකොට සැක ඇතිව වාසය කරමි, බොහෝකොට ක්‍රොධ කරණ සුළුව වාසය කරමි, බොහෝකොට කිලිටි සිතින් වාසය කරමි, බොහෝකොට දාහ සිතින් වාසය කරමි, බොහෝකොට කුසීතවූ සිතින් වාසය කරමි, බොහෝකොට එකඟ නැති සිතින් වාසය කරමියි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස බොහෝ කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහත් උත්සාහයක්ද, පසු නොබැසීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.”