10. 2. 1. 4.
චෙතොසමථලාභී සූත්‍රය
[සැවැත්නුවර]
“මහණෙනි, ඉදින් මහණතෙම අනුන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂ නොවේද, නැවත, ‘තමන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂ වෙමියි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, කෙසේ වනාහි මහණතෙම තමාගේ සිතෙහි ආකාරය දැනීමේ දක්‍ෂ වේද? මහණෙනි, යම් සේ බාලවූ, තරුණවූ අලඞ්කාරයට කැමැති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කන්නාඩියක හෝ පිරිසිදු බබලන, පැහැදුන දිය බඳුනක හෝ, තමාගේ මුව මඬල බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, දකීද, ඒ දූවිල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම් කරයි. එහි දූවීල්ලක් හෝ, කිලුටක් හෝ, ඉදින් නොදකීද, එයින්ම සම්පූර්‍ණවූ කල්පනා ඇත්තේ, ‘ඒකාන්තයෙන් මට ලාභයක. ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටුවූයේ වේ. මහණෙනි, එසේම මහණහට තමා තුළ සිතේ එකඟකම ලබන්නෙක් වන්නෙම්ද, අධ්‍යාත්මයෙහි චිත්ත සමථය ලබන්නෙක් නොවන්නෙම්ද, අධි ප්‍රඥාවෙන් ධර්‍මයන් විදර්‍ශනා කිරීම ලබන්නෙක් වෙම්ද, අධි ප්‍රඥාවෙන් ධර්‍මයන් විදර්‍ශනා කරන්ට ලබන්නෙක් නොවන්නෙම්දැයි, කුශල ධර්‍මයන්හි නුවණින් කල්පනා කිරීම බොහෝ උපකාරවේ. ‘මම අධ්‍යාත්මික චෙතොසමථය ලැබුවෙම් දෝ’ යි හෝ ‘මම අධ්‍යාත්මික චෙතොසමථය නො ලැබුවෙම් දෝ’ යි හෝ ‘මම අධිප්‍රඥාධර්මවිදර්ශනාව ලැබුවෙම් දෝ’ යි හෝ ‘මම අධිප්‍රඥාධර්මවිදර්ශනාව නො ලැබුවෙම් දෝ’ යි (කියායි).
“මහණෙනි, ඉදින් මහණතෙම සිහි කරන්නේ, ‘තමා තුළ සිතේ එකඟකම ලබා ඇත්තෙමි’ ශ්‍රේෂ්ඨ නුවණින් ධර්‍මයන් බැලීම නැත්තේයයි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් තමා තුළ ඇති සිතේ එකඟකමෙහි පිහිටා ශ්‍රේෂ්ඨ නුවණින් ධර්‍මයන් බැලීමට වීර්‍ය්‍ය කටයුතුය. හෙතෙම මෑත භාගයෙහි තමා තුළ සිතේ එකඟකමටද, ශ්‍රේෂ්ඨ නුවණින් ධර්‍මයන් බැලීමටද වෑයම් කටයුතුයි.
“මහණෙනි, ඉදින් මහණතෙම සිහි කරන්නේ, ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බලන්නට ලබන්නෙක් වෙමි. තමා තුළ සිත් එකඟකම ලබන්නට නොහැකියයි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමෙහි පිහිටා තමා තුළ සිත එකඟකිරීමෙහි වෑයම් කළ යුතුය. හෙතෙම මෑත භාගයෙහි ශ්‍රේෂ්ඨ නුවණින් ධර්මයන් බැලීම ලබන්නේ, තමා තුළ සිත එකඟකිරීමටද ලබන්නේ වේ.
“මහණෙනි, ඉදින් මහණතෙම නුවණින් සිහි කරන්නේ, අධ්‍යාත්මයෙහි සිතේ එකඟකම නොලබන්නේ වේද, ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමටද නොලබන්නේයයි මෙසේ දනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් ඒ කුශල ධර්මයන්ගේ ලැබීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුය.
“මහණෙනි, ගිනිගත් වස්ත්‍ර ඇති, ගිනිගත් හිස ඇති, කෙනෙක් යම්සේද, ඔහුගේ වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස මහත් කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කරන්නේය. මහණෙනි, එසේ ඒ භික්‍ෂුව විසින් ඒ කුශල ධර්‍මයන්ගේ ලැබීම පිණිස අධික මාත්‍ර කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, අධික උත්සාහයක්ද, නොනැවැත්මක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුය. හෙතෙම මෑත භාගයෙහි අධ්‍යාත්මයෙහි සිතේ එකඟකමද, ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්‍මයන් බැලීමද ලබන්නේද වේ.
“මහණෙනි, ඉදින් මහණතෙම නුවණින් සිහිකරණු ලබන්නේ, තමන් තුළ සිතේ එකඟකම ලබන්නේ වෙමි. ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් ධර්මයන් බැලීමද ලබමියි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් ඒ කුශල ධර්මයන්හිම පිහිටා මත්තෙහි ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස භාවනා කටයුතුය.