10. 1. 5. 6.
6. සක්‍යුපොසථ සූත්‍රය
46. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝ ශාක්‍ය උපාසකයෝ පොහෝ දිනයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. ශාක්‍ය උපාසකයන් එකත්පසෙක හුන් කල්හි භාග්‍යවතුන් වහන්සේ, “ශාක්‍යයෙනි, කෙසේද? තෙපි අඞ්ග අටකින් යුක්තවූ ශීලය රකිව්දැ” යි වදාළ සේක. ‘ස්වාමීනි, අපි සමහර දවස්වල අඞ්ග අටකින් යුක්ත ශීලය රකිමු. සමහර දවස්වල නොරකිමුය’ යි කීවාහුය.
“ශාක්‍යවරුනි, යම්බඳුවූ තොපි මෙසේ ශෝකයෙන් බිය ඇති ජීවිතයෙහි, මරණයෙන් බිය ඇති ජීවිතයෙහි, සමහර දවස්වල අඞ්ග අටකින් යුක්තවූ ශීලය රකිව්ද, සමහර දවස්වල නොරකිවුද, ශාක්‍යවරුනි, එ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි වැඩකින් අදක්‍ෂවීමට නොපැමිණ, දවාලට කහවණු බාගයක් සොයන්නේය. පුරුෂයා දක්‍ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?” “ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නේද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි වැඩකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණුවක් සොයන්නේද, පුරුෂතෙම දක්‍ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?” “ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි කර්‍මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු දෙකක් සොයන්නේය. පුරුෂතෙම දක්‍ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?” “ස්වාමීනි, එසේය.” “ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි කර්‍මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු තුනක් සොයන්නේය. පුරුෂතෙම දක්‍ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?” “ස්වාමීනි, එසේය.” “ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි කර්‍මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු සතරක් සොයන්නේය. පුරුෂතෙම දක්‍ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?” “ස්වාමීනි, එසේය.” “ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි කර්‍මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු පහක් සොයන්නේය. පුරුෂතෙම දක්‍ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?” “ස්වාමීනි, එසේය.” හයක්, හතක්, අටක්, නවයක්, දහයක්, විස්සක්, තිහක්, හතලිහක්, පනහක්, සොයන්නේය. පුරුෂතෙම දක්‍ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?” “ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? ඒ පුරුෂතෙම දවසක් දවසක් පාසා කහවනු සීයක්, කහවනු දාහක්, සොයන්නේ, ලැබු ලැබූ දේ බහා තබන්නේ, වර්‍ෂ සියයක් ආයුෂ ඇත්තේ, වර්‍ෂ සීයක් ජීවත් වන්නේ, මහත් වස්තු රැසකට අයිතිකාරයෙක් වන්නේද?” - “ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නේද? ඒ පුරුෂතෙම වස්තු නිසා වස්තු නිදානකොට ගෙන වස්තු හේතුවෙන් එක් රාත්‍රියක් හෝ, එක් දවාලක් හෝ, රාත්‍රියෙන් බාගයක් හෝ, දවාලෙන් බාගයක් හෝ, ඒකාන්ත සැපක් විඳිමින් වාසය කරන්නහුද?” - “නැත, ස්වාමීනි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, කාමයෝ අනිත්‍යයහ. හිස්ය, බොරුය, මුලාකරණ ස්වභාව ඇත්තේය.”
“ශාක්‍යවරුනි, මෙහි මාගේ ශ්‍රාවකතෙම වර්‍ෂ දහයක් අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවණට යොමුකළ ආත්ම ඇතිව වාසය කරන්නේ, මා විසින් යම් සේ අනුශාසනා කරණ ලද්දේද, එසේ පිළිපදින්නේ, වර්‍ෂ සීයක්, වර්‍ෂ දහසක්, වර්‍ෂ දසදහසක්, වර්‍ෂ ලක්‍ෂයක්, ඒකාන්ත සැප විඳිමින් වාසය කරන්නේය. හෙතෙමේ සකෘදාගාමී හෝ, අනාගාමී හෝ, ස්ථිරවූ හෝ, සෝවාන්වූවෙක් වන්නේය.