10. 1. 5. 5.
5. අන්තෙපුරප්පවෙස සූත්රය
[සාවත්ථි]
45. “මහණෙනි, රජුගේ වසන ඇතුළු නුවරට ප්රවිෂ්ට වීමෙහි මේ දෝෂයෝ දස දෙනෙක් වෙත්. කවර දස දෙනෙක්ද යත්?
“මහණෙනි, මෙහි රජතෙම මෙහෙසිය සමග සිටියේ වේද, මහණෙනි, එහි ප්රවිෂ්ට වෙයිද, මෙහෙසිය හෝ භික්ෂුව දැක සිනාව පහළ කරයි. භික්ෂුව හෝ මෙහෙසිය දැක සිනා පහළකරයි. එහිදී රජුට ඒකාන්තයෙන් මොවුන් විසින් වරදක් කරණ ලද්දේ හෝ වෙයි. කරන්නේ හෝ වේයයි මෙබඳු සිතක් වේ. මහණෙනි, රජුගේ ඇතුළු නුවරට ප්රවිෂ්ට වීමෙහි මේ පළමුවෙනි දෝෂයයි.
“නැවතද මහණෙනි, රජතෙම බොහෝ වැඩ ඇත්තේ වේද, බොහෝ කටයුතු ඇත්තේ වේද, එක්තරා ස්ත්රියකු කරා ගොස් සිහි නොකරයි. ඕ තොමෝ ඉන් ගැබ් ගනියි. එහි රජහුට මෙහි පැවිද්දා හැර කිසිවකු ප්රවිෂ්ට නොවෙයි. පැවිද්දාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ ඇතුළු නුවරට පිවිසීමෙහි මේ දෙවෙනි ආදීනවයයි.
“මහණෙනි, නැවතද රජුගේ ඇතුළු නුවර එක්තරා රත්නයක් නැතිවූයේ වේ. එහි රජුට පැවිද්දා හැර මෙහි අන් කිසිවෙක් ප්රවිෂ්ට නොවෙයි. ප්රව්රජිතයාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ ඇතුළු නුවරට පිවිසීමෙහි මේ තුන්වෙනි ආදීනවයයි.
“මහණෙනි, නැවතද රජුගේ අභ්යන්තරයෙහි රහස් කථාවන් පිටත දැන ගනිත්. එහි රජුට මෙහි ප්රව්රජිතයා හැර අන් කිසිවෙක් මෙහි ප්රවිෂ්ට නොවෙයි. ප්රව්රජිතයාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ ඇතුළු නුවරට ප්රවිෂ්ට වීමෙහි මේ සතරවෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජුගේ ඇතුළු නුවරෙහි පියෙක් හෝ පුතා මරන්ට කැමති වෙයි. පුතෙක් හෝ පියා මරන්ට කැමති වෙයි. ඔවුන් අතරෙහි ප්රව්රජිතයා හැර මෙහි අන් කිසිවෙක් නොවදියි. පැවිද්දාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ වසන ඇතුළු නුවරට වැදීමෙහි මේ පස්වෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජතෙම පහත් තැනක සිටි මෙහෙසියක් උසස් තැනක තබයි. ඊට යම් කෙනෙක් අමනාපවූයේද, ඔවුන්ට රජතෙමේ වනාහි පැවිද්දා සමග ගැටී සිටී. පැවිද්දාගේ වැඩක් වන්නේයයි සිතයි. මහණෙනි, රජුගේ ඇතුළුනුවරට පිවිසීමෙහි මේ සවෙනි දෝෂයයි.
“මහණෙනි, නැවත රජතෙම උසස් මෙහෙසියක් පහත් තැනක තබයි. යම් ඒ කෙනෙක් අමනාප වූයේද, ඔවුන්ට රජතෙමේ වනාහි පැවිද්දා සමග ගැටී සිටී. පැවිද්දාගේ වැඩක් වන්නේයයි සිතයි. මහණෙනි, රජුගේ ඇතුළුනුවරට ප්රවිෂ්ටවීමෙහි මේ සත්වෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජතෙම නොකල්හි සේනාව පිටත්කරයිද, යම් ඒ කෙනෙක් අමනාප වූයේද, ඔවුන්ට රජතෙමේ වනාහි පැවිද්දා සමග ගැටී සිටී. පැවිද්දාගේ වැඩක් වන්නේයයි සැක කරයි. මහණෙනි, රජුගේ ඇතුළුනුවරට ප්රවිෂ්ටවීමෙහි මේ අටවෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජතෙම සුදුසු කාලයෙහි සේනාව පිටත්කර හැර අතරමගදී නවත්වයි. යම් කෙනෙකු අමනාපවූයේද, ඔවුන්ට රජු වනාහි පැවිද්දා සමග ගැටී සිටී. පැවිද්දාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ ඇතුළුනුවරට වැදීමෙහි මේ නවවෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජුගේ ඇතුළුනුවර ඇතුන්ගෙන් තද බද වීම, අශ්වයන්ගෙන් තදබදවීම, රියෙන් තදබදවීම, ප්රව්රජිතයන්ට නොසරුප්වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයෝ වෙත්ද, මහණෙනි, රජුගේ ඇතුළු නුවරට වැදීමෙහි මේ දසවෙනි දෝෂයයි.
මහණෙනි, රජුගේ ඇතුළු නුවරට වැදීමෙහි මේ දස ආදීනවයෝ යි.
10. 1. 5. 6.
6. සක්යුපොසථ සූත්රය
46. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝ ශාක්ය උපාසකයෝ පොහෝ දිනයෙහි භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. ශාක්ය උපාසකයන් එකත්පසෙක හුන් කල්හි භාග්යවතුන් වහන්සේ, “ශාක්යයෙනි, කෙසේද? තෙපි අඞ්ග අටකින් යුක්තවූ ශීලය රකිව්දැ” යි වදාළ සේක. ‘ස්වාමීනි, අපි සමහර දවස්වල අඞ්ග අටකින් යුක්ත ශීලය රකිමු. සමහර දවස්වල නොරකිමුය’ යි කීවාහුය.
“ශාක්යවරුනි, යම්බඳුවූ තොපි මෙසේ ශෝකයෙන් බිය ඇති ජීවිතයෙහි, මරණයෙන් බිය ඇති ජීවිතයෙහි, සමහර දවස්වල අඞ්ග අටකින් යුක්තවූ ශීලය රකිව්ද, සමහර දවස්වල නොරකිවුද, ශාක්යවරුනි, එ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි වැඩකින් අදක්ෂවීමට නොපැමිණ, දවාලට කහවණු බාගයක් සොයන්නේය. පුරුෂයා දක්ෂය, වීර්ය්යයෙන් යුක්තයයි කීමට සුදුසුද?” “ස්වාමීනි, එසේය.”