10. 1. 3. 9.
9. කාසිකොසල සූත්රය
[සැවැත් නුවර]
29. “මහණෙනි, කාසිකොසල දනව් වැස්සෝ යම්තාක්ද, පසේනදි කොසොල් රජහුගේ රටෙහි රජවරු යම්තාක්ද, එහි පසේනදි කොසොල් රජ අග්රයයි කියනු ලැබේ. මහණෙනි, පසේනදි කොසොල් රජුගේ වෙනස්වීමක් ඇත්තේමය. මරණයක්ද ඇත්තේමය. මහණෙනි, මෙසේ දන්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම ඒ සම්පතෙහිද කළකිරෙයි. අග්ර රජකමෙහිද නොඇළෙයි. පහත් දෙයෙහි කියනුම කවරේද?
“මහණෙනි, දහසක් ලෝකය හැම තැනම යම්තාක් වන්ද්ර සූර්ය්යයෝ පරිහරණය කෙරෙත්ද, බැබලීමෙන් දිශාවන් හොබවත්ද, ඒ දහසක් ප්රමාණ ලෝකයෙහි, චන්ද්රයන් දහසෙක, සූර්ය්යයන් දහසෙක, මහමෙර දහසෙක, දඹදිව් දහසෙක, අපරගොයාන දහසෙක, උතුරුකුරු දිවයින් දහසෙක, පූර්වවිදෙහ දහසෙක, මහා සමුද්ර සාර දහසෙක, මහරජවරු සාර දහසෙක, චාතුර්මහාරාජික දහසෙක, තව්තිසා දහසෙක, යාම දහසෙක, තුෂිත දහසෙක, නිර්මාණරතී දහසෙක, පරනිර්මිත වසවර්ති දහසෙක, බ්රහ්මලෝක දහසෙක, මහණෙනි, සහශ්රී ලෝක ධාතුව යම්තාක්ද, මහා බ්රහ්ම තෙම එහි අග්රයයි කියනු ලැබේ. මහණෙනි, මහා බ්රහ්මයාගේද වෙනස්විමක් ඇත. මරණයක්ද ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකය නැසේද, මහණෙනි, ලෝකය නැසෙන කල්හි සත්ත්වයෝ බොහෝ සෙයින් ආභස්සරයෙහි උපදින්නාහු වෙත්. ඔවුහු එහි ඉබේ දිලිසෙන්නාහු, අහස හැසිරෙන්නාහු, සුභ ස්ථානගතවූවාහු, සිතින් උපදවා ගත් ප්රීතිය අනුභව කරන්නාහු, බොහෝ වැඩි කාලයක් සිටිත්. මහණෙනි, ලෝකය නැසෙන කල්හි ආභසස්ර දෙවියෝ අග්රයයි කියනු ලැබෙත්. මහණෙනි, ආභස්සර දෙවියන්ගේද වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ කසින ක්ෂෙත්රයෝ දසයකි. මෙය කවර දසයක්ද යත්? එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්රමාණ පෘථුවියම දක්නා පෘථුවි කසිනය හඳුනයි. ඇතැම් කෙනෙක් ආපො කසිනය හඳුනයි. තෙජො, වායො, නීල, පීත, ලොහිත, ඔදාත, ආකාශ, විඤ්ඤාණ, උඩ, යට, සරස දෙකක් නැති අප්රමාණවූ විඤ්ඤාණ කසිනය ඇතැම් කෙනෙක් හඳුනයි. මහණෙනි, මේ දස කසිනායතනයෝයි. මහණෙනි, මේ කසින ක්ෂෙත්ර දසයෙන් එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්රමාණවූ යම් මේ විඤ්ඤාණ කසිනයක් අඳුනයිද, මහණෙනි, මෙසේ සංඥා ඇත්තාවූ බොහෝ සත්ත්වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්වයන්ට වෙනස්වීමක් ඇත. අනිත්යයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මැඩ පවත්වන කරුණු අටක් වෙත්. කවර අටක්ද යත්? කෙනෙක් තමා තුළවූ රූපය නිමිති කොට භාවනාව බොහෝ පුරුදු කරන්නේද, පිටත දෙය නිමිති කොට හොඳට පුරුදු කළ, භාවනාවන් වශයෙන් නොවැඩූ, මනා වර්ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ ප්රථම අභිභායතනයයි.
කෙනෙක් තමා තුළවූ රූපයෙහි පරිකර්ම කරන්නේ, පිටත දුවර්ණ වශයෙන් මහත්වූ, මනා වර්ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ දෙවෙනි අභිභායතනයයි.
කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, පිටත අර්පණා වශයෙන් නොවැඩූ, මනා වර්ණ ඇති හෝ දුවර්ණ ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ තුන්වෙනි අභිභායතනයයයි.