10. 1. 3. 10.
පසේනදිපච්චකාර සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි පසේනදි කොසොල් රජ තෙම දිනන ලද යුද්‍ධ ඇත්තේ, ලබන ලද බලාපොරොත්තු ඇත්තේ, ඒ ව්‍යාජ යුද්‍ධයෙන් නැවතුනේ වේ. ඉක්බිති පසේනදි කොසොල් රජතෙම, ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණියේය. වාහනයෙන් යා යුතු බිම යම්තාක්ද, ඒතාක් වාහනයෙන් ගොස්, වාහනයෙන් බැස, පාබල සෙනඟ ඇත්තේ ආරාමයට ඇතුළ්වූයේය. එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු එලිමහනෙහි සක්මන් කෙරෙත්. ඉක්බිති පසේනදි කොසොල් රජතෙම ඒ භික්‍ෂූහු යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂූන්ට,
“ස්වාමීනි, භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ දැන් කොහි වාසය කෙරෙත්ද? ස්වාමීනි, අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට කැමැත්තෙමු.”
“මහරජ, මේ වසන ලද දොර ඇති විහාරයයි. එහි නිශ්ශබ්දව පැමිණ, ඉක්මන් නොවී, පිට බරාඳයට ඇතුළ්වී, කාරා, අගුල තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ තොපට දොර හරින සේක.”
ඉක්බිති පසේනදි කොසොල් රජ තෙම වසන ලද දොර ඇති ඒ විහාරය යම් තැනෙක්හිද, එහි නිශ්ශබ්දව පැමිණ, ඉක්මන් නොවී, පිට බරාඳයට ඇතුළ්ව, කාරා, අගුලට තට්ටු කළේය. භාග්‍යවතුන් වහන්සේ දොර හළ සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙම විහාරයට පැමිණ, භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී, භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මුවින්ද සිඹියි. දෙඅතින්ද පිරිමදියි. “ස්වාමීනි, මම පසේනදි කොසොල්ය. ස්වාමීනි, මම පසේනදි කොසොල්ය’ යි නමද අස්වයි.
“මහරජ, ඔබ කවර කාරණයක් දකිමින් මේ ශරීරයෙහි අතිශය ගෞරවය කරයිද, මෛත්‍රී එලවීමක් කරයිද?”
“ස්වාමීනි, මම කෙළෙහි ගුණ දැනම, කළගුණ සැළකීම මනාකොට දක්නේ, මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක් කරමි. මෛත්‍රී පූජාවක් පවත්වමි.
1. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි බොහෝ දෙනාට හිත පිණිස පිළිපන්නේය. බොහෝ දෙනාට සැප පිණිස පිළිපන්නේය. බොහෝ දෙනා යම් යම් යහපත් ස්වභාවයක කුශල ධර්‍ම සංඛ්‍යාත ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගික මාර්‍ගයෙහි පිහිටවූහ. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
2. “ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වූයේ, වැඩුණු සිල් ඇත්තේ, ශ්‍රේෂ්ඨ සිල් ඇත්තේ, නිපුණවූ සිල් ඇත්තේ, නිපුණවූ ශීලයෙන් යුක්තවූයේ වේ. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
3. “ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලක් අරණ්‍යයෙහි වාසය කළේ, අරණ්‍යයෙහි වන පෙදෙසෙහි පිහිටියාවූද, ප්‍රාන්තයෙහි පිහිටියාවූද, සෙනසුන් ආශ්‍රය කරයිද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් බොහෝ කාලයක් අරණ්‍යයෙහි විසූ සේක් වනයෙහි බොහෝ ඈත පිහිටියාවුද, ප්‍රාන්තයන්හි පිහිටියාවූද සෙනසුන් ආශ්‍රය කරයි. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
4. “ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර කෙරෙහි සතුටු වෙයිද, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටු වේද, ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
5. “ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට සුදුසුය. දන්දීමට සුදුසුය, දෙඅත් හිස තබා වැඳීමට සුදුසුය. ලෝකයාගේ ඉතා උසස් පින් කෙතය. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.