10. 1. 3. 7.
පඨම මහාපඤ්හ සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු මහ සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝ භික්ෂූහු පූර්වාහ්න වේලාවෙහි හැඳ පොරවා පාත්රා සිවුරු රැගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියාහුය.
ඉක්බිති ඒ භික්ෂූන්ට ‘තවම සැවැත්නුවර පිඬු සිඟීමට කල් නොවෙයි. අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි යන්නෙමු නම් යෙහෙකැ’ යි සිතූහ.
ඉක්බිති ඒ භික්ෂූහු අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි වැඩියාහුය. වැඩ ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන් සමග සතුටුවූවාහුය. සතුටුවී, සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය.
එකත්පසෙක සිටි ඒ භික්ෂූන්ට අන්ය තීර්ත්ථක පරිබ්රාජකයෝ, “ඇවැත්නි, ශ්රමණ ගෞතම තෙම ශ්රාවකයන්ට, ‘මහණෙනි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ බණ කියාදැ” යි ඇසුවාහුය. “ඇවැත්නි, අපිද ශ්රාවකයන්ට, ‘ඇවැත්නි, තොප මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ ධර්ම දේශනා කරමු.”
“ඇවැත්නි, ශ්රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපේ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාවගේ හෝ අනුශාසනාවෙන් අනුශාසනයේ හෝ විශේෂය කුමක්ද, අදහස කුමක්ද, වෙන් කිරීම කුමක්දැ” යි ඇසූහ.
ඉක්බිති ඒ භික්ෂූහු අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ වචනයට සතුටු නොවූවාහුය. අක්රොශ නොකළාහුය. සතුටු නොවී, අක්රොශ නොකොට අස්නෙන් නැගිට, ‘භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ වචනයාගේ අර්ත්ථය දැනගන්නෙමු’ යි ගියාහුය.
ඉක්බිති ඒ භික්ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලැක්කේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළහ:
“ස්වාමීනි, අපි මේ උදය වරුවෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියෙමු. ස්වාමීනි, ඒ අපට ‘තවම සැවැත්නුවර පිඬු සිඟීමට කල් නොවෙයි. අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි යන්නෙමු නම් යෙහෙකැ’ යි අදහසක් විය. ස්වාමීනි, ඉක්බිති අපි අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණියමු. පැමිණ, ඒ අන්ය තීර්ත්ථක පරිබ්රාජකයන් සමග සතුටුවීමු. සතුටුවියයුතු, සිහි කටයුතු, කථාව කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. ස්වාමීනි, එකත්පසෙක හුන් කල්හි අපට අන්ය තීර්ත්ථක පරිබ්රාජකයෝ, “ඇවැත්නි, ශ්රමණ ගෞතම තෙම ශ්රාවකයන්ට, ‘මහණෙනි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ බණ කියාදැ” යි ඇසුවාහුය. “ඇවැත්නි, අපිද ශ්රාවකයන්ට, ‘ඇවැත්නි, තොප මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ ධර්ම දේශනා කරමු.” “ඇවැත්නි, ශ්රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපේ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාවගේ හෝ අනුශාසනාවෙන් අනුශාසනයේ හෝ විශේෂය කුමක්ද, අදහස කුමක්ද, වෙන් කිරීම කුමක්දැ” යි ඇසූහ.