10. 1. 3. 6.
කාළී සූත්‍රය
“එක් කාලයෙක්හි, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි, කුරරඝරයෙහි, පවත්ත පර්වතයෙහි වාසය කරණ සේක. ඉක්බිති කුරරඝරික කාලී උපාසිකාතොමෝ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ යම් කැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වැඳ, එකත්පසෙක හුන්නාය. එකත්පසෙක සිටි කුරරඝරික කාලී උපාසිකා තොමෝ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාය:
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කුමාරි ප්‍රශ්නයන්හි,
1. “අර්හත්ව නම් අර්‍ත්‍ථයාගේ පැමිණීමට, හෘදයේ ශාන්තිය පිණිස, ප්‍රියවූ, යහපත්වූ වස්තූන්හි ඇතිවෙන රාගාදී ක්ලේශ සේනාව හුදකලාව දවන්නේ සැපය අවබෝධ කෙළෙමි. එහෙයින් මනුෂ්‍යයන් අතරෙහි, මිත්‍ර ධර්මයක් නොකරමි. මට කිසිවකු විසින් මිත්‍ර ධර්මයක් නොසපයා යයි’ වදාළ සේක්ද?
“භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මෙහි කෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දත යුතුද?”
“නැගනියෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පෘථුවි කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. නික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය.
නැගණියෙනි, ඇතැම් මහණ බමුණෝ ආපෝකසිණ සමාපත්තිය උතුම් කොට ඇත්තාහු -පෙ-. නැගණියෙනි, තේජෝකසිණ සමාපත්තිය උතුම් කොට ඇත්තාහු -පෙ-. නැගණියෙනි, වායෝකසිණ සමාපත්තිය උතුම් කොට ඇත්තාහු -පෙ-. නැගණියෙනි, නීලකසිණ සමාපත්තිය උතුම් කොට ඇත්තාහු -පෙ-. නැගණියෙනි, පීතකසිණ සමාපත්තිය උතුම් කොට ඇත්තාහු -පෙ-.
නැගණියෙනි, ලෝහිතකසිණ සමාපත්තිය උතුම් කොට ඇත්තාහු -පෙ-. නැගණියෙනි, ඔදාතකසිණ සමාපත්තිය උතුම් කොට ඇත්තාහු -පෙ-. නැගණියෙනි, ආකාසකසිණ සමාපත්තිය උතුම් කොට ඇත්තාහු -පෙ-. නැගණියෙනි, ඇතැම් මහණ බමුණෝ විඤ්ඤාණකසිණ සමාපත්තිය උතුම් කොට ඇත්තාහු එය අර්ථය කොට උපදවා ගත්හ. නැගණියෙනි, විඤ්ඤාණකසිණ සමාපත්තියේ උතුම් බව යම්තාක් ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එහි ආදිය (ඉපදීමට හේතුව) දුටු සේක, ආදීනවය (දෝෂය) දුටු සේක, නිස්සරණය (එයින් මිදීම) දුටු සේක, මාර්ගාමාර්ග ඥානදර්ශනය දුටු සේක. උන්වහන්සේට ආදිය දැකීම හේතුවෙන්, ආදීනවය දැකීම හේතුවෙන්, නිස්සරණය දැකීම හේතුවෙන්, මාර්ගාමාර්ග ඥානදර්ශනය දැකීම හේතුවෙන් අර්ථයට පැමිණීම (අර්හත්වය) ද හෘදයයේ ශාන්තිය ද දන්නා ලද්දේ වෙයි.
නැගණියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කුමාරි ප්‍රශ්නයෙහි යමක් වදාරන ලද්දේ ද:
2. “අර්හත්ව නම් අර්‍ත්‍ථයාගේ පැමිණීමට, හෘදයේ ශාන්තිය පිණිස, ප්‍රියවූ, යහපත්වූ වස්තූන්හි ඇතිවෙන රාගාදී ක්ලේශ සේනාව හුදකලාව දවන්නේ සැපය අවබෝධ කෙළෙමි. එහෙයින් මනුෂ්‍යයන් අතරෙහි, මිත්‍ර ධර්මයක් නොකරමි. මට කිසිවකු විසින් මිත්‍ර ධර්මයක් නොසපයා යයි’ වදාළ සේක්ද?
“යමක් වදාරණ ලද්දේද, නැගණියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මේ භාෂිතයාගේ අර්ත්ථය විස්තර වශයෙන් මෙසේ දත යුතුයි.”
10. 1. 3. 7.
පඨම මහාපඤ්හ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු මහ සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝ භික්ෂූහු පූර්වාහ්න වේලාවෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු රැගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියාහුය.
ඉක්බිති ඒ භික්ෂූන්ට ‘තවම සැවැත්නුවර පිඬු සිඟීමට කල් නොවෙයි. අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි යන්නෙමු නම් යෙහෙකැ’ යි සිතූහ.
ඉක්බිති ඒ භික්ෂූහු අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි වැඩියාහුය. වැඩ ඒ අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාහුය. සතුටුවී, සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය.