10. 1. 3. 3.
3. වාරත්තය පහාතබ්බ සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
23. “මහණෙනි, කයින් ප්‍රහිණය කටයුතු, වචනයෙන් ප්‍රහාණය නොකටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, කයින් නොව වචනයෙන් ප්‍රහාණය කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, කයින්ද, වචනයෙන්ද ප්‍රහාණය නොකටයුතු, ඤාණයෙන් දැක දැක ප්‍රහාණය කටයුතු ධර්මයෝ ඇත්තාහ.
“මහණෙනි, කවර ධර්ම කෙනෙක් වචනයෙන් නොව කයින් ප්‍රහාණය කටයුතුද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කයින් කිසියම් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේද, ඔහුට ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු දැන ‘ආයුෂ්මත් තෙමේ වනාහි කයින් කිසියම් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේය. ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් කාය දුෂ්චරිතය අත්හැර, කාය සුචරිතය වඩන්නේ යහපතැයි’ මෙසේ කීවාහුය. හෙතෙම නුවණැති සබ්‍රම්සරුන් විසින් දැන කියනු ලබන්නේ, කාය දුශ්චරිතය අත්හැර, කාය සුචරිතය පුරයි. මහණෙනි, මේ වචනයෙන් නොව කයින් ප්‍රහීන කටයුතු ධර්මයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, කයින් නොව, වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝ කවරහුද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වචනයෙන් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේද, ඔහුට ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු දැන ‘ආයුෂ්මත් තෙමේ වනාහි වචනයෙන් යම් ලේෂ මාත්‍ර අකුශලයකට පැමිණියේය. ආයුෂ්මත් තෙමේ වාක් දුෂ්චරිතය අත්හැර, වාක් සුචරිතය වඩන්නේ යහපතැ’ යි කීවාහුය. ඤාණවන්ත සබ්‍රම්සරුන් විසින් දැන කියන්නේ, වාක් දුෂ්චරිතය අත්හැර, වාක් සුචරිතය පුරයි. මහණෙනි, මේ ධර්මයෝ කයින් නොව වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝය.
“මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් කයිනුත් නොව, වචනයෙනුත් නොව, නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුද?
මහණෙනි, ලෝභය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, ද්වේෂය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, මෝහය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, ක්‍රෝධය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, බද්‍ධ වෛරය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, මකු ගතිය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, එකට එක කිරීම කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, මසුරුකම කයිනුත් පහ නොකළ යුතුය. වචනයෙන් ප්‍රහීන නොකළ යුතුය. නුවණින් දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කයින් හෝ වචනයෙන් හෝ ප්‍රහීන නොකළ යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය.
“මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කවරේද?
මහණෙනි, ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ධනයෙන් හෝ, ධාන්‍යයෙන් හෝ, රිදියෙන් හෝ, රත්රනින් හෝ, සමෘද්‍ධ වේද, එහි එක්තරා දාසයෙකුට හෝ අමුත්තෙකුට, ‘එකාන්තයෙන් මේ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට ධනයෙන් හෝ ධාන්‍යයෙන් හෝ, රිදියෙන් හෝ, රත්රනින් හෝ, සමෘද්‍ධ නොවන්නේ නම් යහපතැ’ යි මෙබඳු සිතක් වේ. ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ වේද, එහි එක්තරා ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට, ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර නොලබන්නේ නම් යෙහෙකැයි මෙබඳු සිතක් වේ. මහණෙනි, මේ ලාමක ඊෂ්‍යාවයි. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කයින් ප්‍රහාණය නොකටයුතුය. වචනයෙනුත් නොව, නුවණින් දැන දැන ප්‍රහීන කටයුතුය.