10. 1. 2. 5.
5. අප්පමාද අග්ගක්ඛාන සූත්රය
1. “මහණෙනි, පා නැති හෝ, දෙපා ඇත්තාවූ හෝ, බොහෝ පා ඇත්තාවූ හෝ, රූප ඇත්තාවූ හෝ, රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ, සංඥා නැත්තාවූ හෝ, සංඥාව ඇත්තේමත්, සංඥාව නැත්තේත් නොවූ යම්තාක් සත්ත්වයෝ වෙත්ද, තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ ඔවුන්ට අග්රයයි කියනු ලැබේ. “මහණෙනි, එසේම මේ ලෝකයෙහි යම්කිසි කුශල ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ලෝ අප්රමාදය මුල්කොට ඇත්තාහ. අප්රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්මයන්ට අප්රමාදය ශ්රේෂ්ඨයයි කියනු ලැබේ.
2. “මහණෙනි, යම් සේ ඇවිදින ප්රාණීන්ගේ යම්කිසි පාද සමූහක් වේද, ඒ සියල්ල ඇත් පියෙහි අඩංගුවීමට යයිද, මහත් බැවින් ඇත් පිය ඔවුන්ට ශ්රේෂ්ඨයයි කියනු ලැබේද, මහණෙනි, එසේම යම් ඒ කුශල ධර්ම කෙනෙක් වේද, ඒ සියල්ලෝ අප්රමාදය මුල්කොට ඇත්තාහ. අප්රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්මයන්ට අප්රමාදය ශ්රේෂ්ඨයයි කියනු ලැබේ.
3. “මහණෙනි, යම් සේ කුළු ගෙයක යම්තාක් පරාල වෙත්ද, ඒ සියල්ල කූටයට නැමුනාහු, කූටයට නැඹුරුවූවාහු, කූටයෙහි රැස් වන්නාහු, කූටය ඔවුන්ට ශ්රේෂ්ඨයයි යේද, මහණෙනි, එසේම යම්කිසි කුසල ධර්ම කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ අප්රමාදය මුල්කොට ඇත්තාහ. අප්රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්මයන්ට අප්රමාදය ශ්රේෂ්ඨයයි කියනු ලැබේ.
4. “මහණෙනි, යම් සේ යම්කිසි මුල් සුවඳක් ඇද්ද, මේ කලුවැල් ඔවුන් අතුරින් ශ්රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම -පෙ-
5. “මහණෙනි, යම් සේ යම්කිසි හර සුවඳක් ඇත්තේද, රත් සඳුන් ඔවුන් අතුරින් ශ්රේෂ්ඨයයි, ඔවුන්ට ශ්රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම -පෙ-
6. “මහණෙනි, යම්කිසි මල් සුවඳක් වේද, පිච්ච මල් ඔවුන්ට ශ්රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම -පෙ-
7. “මහණෙනි, යම්කිසි කුඩා රජ කෙනෙක් වේද, ඒ සියල්ලෝ සක්විති රජහු අනුව යන්නාහු වෙත්ද, ඔවුන්ට සක්විති රජතෙම ශ්රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම -පෙ-
8. “මහණෙනි, යම්තාක් තාරකාවන්ගේ ආලෝකයක් ඇද්ද, ඒ සියල්ල සඳ එලියෙන් සොළොස් කලාවෙන් සොළොස් කලාවකටවත් නොවටීද, සඳ එලිය ඔවුන්ට ශ්රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම -පෙ-
9. “මහණෙනි, යම්සේ සරත් කාලයෙහි වසින ලද අහසෙහි පහවූ වලාකුළු ඇති කල්හි සූර්ය්යයා අහසෙහි වියල වන්නේ අහසෙහිවූ අන්ධකාරය නසා දීප්තිමත් වේ. තමාද බැබලේද, මහණෙනි, එසේම -පෙ-
10. “මහණෙනි, යම්සේ ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, යන මහා ගඞ්ගාවෝ වෙත්ද, ඒ සියල්ලෝ මුහුදට වදනාහුද, මුහුදට නැඹුරුවූවාහුද, මුහුදට පහත්වූවාහු, මුහුදට නැමුනාහු, මහා සමුද්රය ඔවුන්ට ශ්රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්ම කෙනෙක් වෙත්ද, අප්රමාදය මුල්කොට ඇත්තාහ. අප්රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්මයන්ට අප්රමාදය ශ්රේෂ්ඨයයි කියනු ලැබේ.”
10. 1. 2. 6.
6. දසාහුණෙය්ය සූත්රය
“මහණෙනි, ඈතින් ගෙනා, ආහුනයට සුදුසු, ඇතට ගෙන යන, පාහුනයට සුදුසු, දක්ෂිණාවට සුදුසු, ඇඳිලි බැඳීමට සුදුසු, ලෝකයාගේ නිරුත්තර පුන්ය ක්ෂෙත්රවූ, මේ පුද්ගලයෝ දස දෙනෙක් වෙත්. කවර දස දෙනෙක්ද යත්:
තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේද, නාමකාය රූපකාය දෙකින් මිදුන, උභතොභාග විමුක්ත පුද්ගලයාය, ප්රඥාවෙන් ආශ්රව ක්ෂය කළ, ප්රඥා විමුක්ත පුද්ගලයාය, කායසක්ඛි පුද්ගලයාය, දිඨිප්පත්ත පුද්ගලයාය, සද්ධා විමුක්ත පුද්ගලයාය, ධම්මානුසාරී පුද්ගලයාය, සද්ධානුසාරි පුද්ගලයාය. ගොත්රභූ පුද්ගලයාය යනුයි.
මහණෙනි, මේ ඈතින් ගෙනා, ආහුනයට සුදුසු, ඇතට ගෙන යන, පාහුනයට සුදුසු, දක්ෂිණාවට සුදුසු, ඇඳිලි බැඳීමට සුදුසු, ලෝකයාගේ නිරුත්තර පුන්ය ක්ෂෙත්රවූ, මේ පුද්ගලයෝ දස දෙනෙක් වෙත්.”