10. 1. 2. 6.
6. දසාහුණෙය්ය සූත්රය
“මහණෙනි, ඈතින් ගෙනා, ආහුනයට සුදුසු, ඇතට ගෙන යන, පාහුනයට සුදුසු, දක්ෂිණාවට සුදුසු, ඇඳිලි බැඳීමට සුදුසු, ලෝකයාගේ නිරුත්තර පුන්ය ක්ෂෙත්රවූ, මේ පුද්ගලයෝ දස දෙනෙක් වෙත්. කවර දස දෙනෙක්ද යත්:
තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේද, නාමකාය රූපකාය දෙකින් මිදුන, උභතොභාග විමුක්ත පුද්ගලයාය, ප්රඥාවෙන් ආශ්රව ක්ෂය කළ, ප්රඥා විමුක්ත පුද්ගලයාය, කායසක්ඛි පුද්ගලයාය, දිඨිප්පත්ත පුද්ගලයාය, සද්ධා විමුක්ත පුද්ගලයාය, ධම්මානුසාරී පුද්ගලයාය, සද්ධානුසාරි පුද්ගලයාය. ගොත්රභූ පුද්ගලයාය යනුයි.
මහණෙනි, මේ ඈතින් ගෙනා, ආහුනයට සුදුසු, ඇතට ගෙන යන, පාහුනයට සුදුසු, දක්ෂිණාවට සුදුසු, ඇඳිලි බැඳීමට සුදුසු, ලෝකයාගේ නිරුත්තර පුන්ය ක්ෂෙත්රවූ, මේ පුද්ගලයෝ දස දෙනෙක් වෙත්.”
10. 1. 2. 7.
පඨම නාථකරණ ධම්ම සූත්රය
“මහණෙනි, පිහිට ඇතිව වසව්. පිහිට නැතිව නොවසව්. මහණෙනි, අනාථයා දුකසේ වාසය කරයි. මහණෙනි, පිහිට ඇති කරණ ධර්ම දහයකි. කවර දහයක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්ර වරදෙහි බිය දක්නේ, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, මහණෙනි, මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්ර වරදෙහි බිය දක්නේ, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, මේ ධර්මයද පිහිට ඇතිකරන්නේය.
“මහණෙනි, නැවතද, මහණතෙම බහුශ්රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්ථ සහිතද, ව්යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්ණද, පිරිසිදු බ්රහ්මචර්ය්යය ප්රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්රතිවෙධ කරණ ලද්දාහු වෙත්. මහණතෙම බහුශ්රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්ථ සහිතද, ව්යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්ණද, පිරිසිදු බ්රහ්මචර්ය්යය ප්රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්රතිවෙධ කරණ ලදද්, මේ ධර්මයද පිහිට ඇතිකරන්නේය.
“මහණෙනි, නැවතද මහණතෙම සීලාදී ගුණවත් මිත්රයන් ඇත්තේ වේ. යහපත් සහායයන් ඇත්තේ වේ. යහපතට නැමෙන්නේ වේ. මහණෙනි, මහණතෙම යම් හෙයකින් කල්යාණ මිත්රයන් ඇත්තේ වේද, යහපත් සහායයන් ඇත්තේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරයි.
“මහණෙනි, නැවතද මහණතෙම කීකරුවේද, සුවචබව ඇතිකරණ ධර්මයන්ගෙන් යුක්තවූයේ වේ. අවවාද ඉවසා පිළිගන්නේ වේද, මහණෙනි, යම්හෙයකින් මහණතෙම සුවචවේද, සුවචබව ඇතිකරණ ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, ඉවසන්නේ වේද, අනුශාසනා දකුණින් ගන්නේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නේයි.