10. 1. 1. 8.
සමන්ත පාසාදිකා සූත්‍රය
සැවැත් නුවර දී ය.
“මහණෙනි, මහණතෙම ශ්රද්ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්ණවූයේ වේ.
මහණෙනි, භික්ෂුව ශ්රද්ධාවත් ද වෙයි, සිල්වත් ද වෙයි, එහෙත් බහුශ්‍රුත නොවෙයි -පෙ- බහුශ්‍රුත ද වෙයි, එහෙත් ධර්මකථික නොවෙයි - ධර්මකථික ද වෙයි, එහෙත් පිරිස් මැද හැසිරෙන්නෙක් (පරිසාවචර) නොවෙයි - පිරිස් මැද හැසිරෙන්නෙක් ද වෙයි, එහෙත් බිය නැතිව (විසාරදව) පිරිසට දහම් නොදෙසයි - බිය නැතිව පිරිසට දහම් ද දෙසයි, එහෙත් විනයධර නොවෙයි - විනයධර ද වෙයි, එහෙත් ඈත සෙනසුන්හි වසන ආරණ්‍යකයෙක් නොවෙයි - ඈත සෙනසුන්හි වසන ආරණ්‍යකයෙක් ද වෙයි, එහෙත් උසස් සිතට අයත් (ආභිචේතසික), මේ ජීවිතයේදීම සැපසේ වාසය කිරීම් වූ ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නෙක්, දුකක් නැතිව ලබන්නෙක්, අපහසුවක් නැතිව ලබන්නෙක් නොවෙයි - උසස් සිතට අයත්, මේ ජීවිතයේදීම සැපසේ වාසය කිරීම් වූ ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නෙක්, දුකක් නැතිව ලබන්නෙක්, අපහසුවක් නැතිව ලබන්නෙක් ද වෙයි, එහෙත් ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය මේ ජීවිතයේදීම තමා විශිෂ්ට ඥානයෙන් දැන, ප්රත්යක්ෂ කොට, එයට පැමිණ වාසය නොකරයි.
“මෙසේ හෙතෙම ඒ කොටස සම්පූර්ණ නොකෙළේ වේ. ඔහු විසින් ඒ කොටස සම්පූර්ණ කටයුතුයි. කෙසේ මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්ම කථිකද, පිරිස්හි හැසිරෙන්නෙම්ද, විසාරදව පිරිසෙහි ධර්ම දේශනා කරන්නෙම්ද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරණ්‍යයෙහි වාසය කරන්නෙම්ද, නිතර පිරිසිදුවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර කැමැතිසේ ලබන්නේ වේ, සුවසේ ලබන්නේ වේ, වහා ලබන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන්, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට වාසය කරන්නෙම් නම් යෙහෙකැ” යි කියායි.
මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයිද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්ණවූයේ වේ.
මහණෙනි, මේ දස ධර්මයකින් සමන්වාගත වූ භික්ෂුව හාත්පසින් පැහැදීම් එලවන්නේ ද වෙයි, සර්වප්රකාරයෙන් පරිපූර්ණ වූයේ ද වෙයි.
10. 1. 1. 9.
සන්තවිමොක්ඛ සූත්‍රය
සැවැත් නුවර දී ය.
මහණෙනි, භික්ෂුව ශ්රද්ධාවත් ද වෙයි, එහෙත් සිල්වත් නොවෙයි -පෙ- සිල්වත් ද වෙයි, එහෙත් බහුශ්‍රුත නොවෙයි - බහුශ්‍රුත ද වෙයි, එහෙත් ධර්මකථික නොවෙයි - ධර්මකථික ද වෙයි, එහෙත් පිරිස් මැද හැසිරෙන්නෙක් (පරිසාවචර) නොවෙයි - පිරිස් මැද හැසිරෙන්නෙක් ද වෙයි, එහෙත් බිය නැතිව (විසාරදව) පිරිසට දහම් නොදෙසයි - බිය නැතිව පිරිසට දහම් ද දෙසයි, එහෙත් විනයධර නොවෙයි - විනයධර ද වෙයි, එහෙත් ඈත සෙනසුන්හි වසන ආරණ්‍යකයෙක් නොවෙයි - ඈත සෙනසුන්හි වසන ආරණ්‍යකයෙක් ද වෙයි, එහෙත් රූපයන් ඉක්මවූ අරූප වූ යම් ඒ ශාන්ත විමෝක්ෂයෝ වෙත් ද, ඒවා කයින් (නාමකායයෙන්) ස්පර්ශ කොට වාසය නොකරයි - රූපයන් ඉක්මවූ අරූප වූ යම් ඒ ශාන්ත විමෝක්ෂයෝ වෙත් ද, ඒවා ද කයින් ස්පර්ශ කොට වාසය කරයි, එහෙත් ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය මේ ජීවිතයේදීම තමා විශිෂ්ට ඥානයෙන් දැන, ප්රත්යක්ෂ කොට, එයට පැමිණ වාසය නොකරයි. මෙසේ හෙතෙම ඒ අංගයෙන් අසම්පූර්ණ වූයේ වෙයි.
“ඔහු විසින් ඒ කොටස සම්පූර්ණ කටයුතුය. “මම ශ්‍රද්‍ධාවත්ද වන්නෙමි. සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්ම කථිකද, පිරිස්හි හැසිරෙන්නේද, දක්ෂවූයේ පිරිස්හි ධර්ම දේශනා කරන්නෙමි. විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ ආරඤ්ඤිකද වන්නෙමි. රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්ශකොට වාසය කරන්නෙමි. ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරන්නෙම්ද, ඔහු විසින් ඒ කොටස සම්පූර්ණ කටයුතුය.”