575-576. පඤ්ඤාපභෙද සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ප්‍රඥාප්‍රභෙදය (ප්‍රඥා විශේෂයන් දැනගැනීම) පිණිස පවතී, අනුපාද පරිනිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී. කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ ප්‍රඥාප්‍රභේදය පිණිස පවතී, අනුපාද පරිනිර්වාණය පිණිස පවතී”
577-579. අනෙකධාතු පටිවෙධ සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි නොයෙක් ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්මවේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයන්හි ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභේදගත ඥානයවේ. කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩනලද කල්හි බහුලවශයෙන් පුරුදු කරන ලද කල්හි ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයෙන් ලක්ෂණ දැන ගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභෙද ඥානය වේ”
580-583. සොතාපත්තිඵල සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ශ්‍රොතාපත්ති ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ශ්‍රොතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී. සකෘදාගාමිඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී, අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී, අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී”
584-599. පඤ්ඤාපටිලාභ සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයක් තෙම වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරනලද්දේ ප්‍රඥාව ලැබීම පිණිස පවතී. ප්‍රඥාවෘද්ධිය පිණිස පවතී. ප්‍රඥාවෙහි විශාලත්වය පිණිස පවතී. මහත් ප්‍රඥාව ඇති බැව් පිණිස විශාල ප්‍රඥා භාවය පිණිස පවතී, විපුල ප්‍රාඥ භාවය පිණිස පවතී, ගම්භීර ප්‍රාඥ භාවය පිණිස පවතී, අසාමන්ත (අනභිභවනීය) ඥානය ඇති බැව් පිණිස පවතී, භූරි ප්‍රාඥ භාවය පිණිස පවතී, ප්‍රඥා බාහුල්‍යය පිණිස පවතී, සීඝ්‍ර (වහ වහා පවත්නා) ප්‍රාඥභාවය පිණිස පවතී, ලඝු (යුහුසුලුවූ) ප්‍රාඥ භාවය පිණිස පවතී, හාසු (තුෂ්ටිබහුල) ප්‍රාඥභාවය පිණිස පවතී, (වහා අවබෝධය ලබන) ජවන ප්‍රඥාව ඇති බැව් පිණිස පවතී, තීක්ෂණ ප්‍රඥාභාවය පිණිස පවතී, (කලකිරුණු ස්වභාව ඇති) නිර්වෙධික ප්‍රාඥ භාවය පිණිස පවතී. “කවර නම් එකම ධර්මයක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය තෙම වඩනලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවතී, ප්‍රඥාවෘද්ධිය පිණිස පවතී, ප්‍රඥාවෙහි විශාලත්වය පිණිස පවතී. මහා ප්‍රඥාව ඇති බැව් පිණිස පවතී, විශාල ප්‍රාඥභාවය පිණිස පවතී. විපුල ප්‍රාඥභාවය පිණිස පවතී, ගම්භීර ප්‍රාඥභාවය පිණිස පවතී, අසාමන්ත ඥානය ඇති බැව් පිණිස පවතී, භූරිප්‍රාඥ භාවය පිණිස පවතී, ප්‍රඥා බාහුල්‍යය පිණිස පවතී, සීඝ්‍ර ප්‍රාඥභාවය පිණිස පවතී, ජවන ප්‍රඥාව ඇති බැව් පිණිස පවතී, තීක්ෂණ ප්‍රාඥභාවය පිණිස පවතී, නිර්වෙධික ප්‍රාඥභාවය පිණිස පවතී.”
කායගතාසතිවග්ගො එකූනවීසතිමො.
[8. අමතවග්ගො]
600. අමතාපරිභූඤ්ජන සූත්‍රය
“මහණෙනි, යමෙක් තුමූ කායගතාසතිය පරිභොග නොකෙරෙත්ද, ඔහු නිර්වාණය (අවබෝධකිරීම් වශයෙන්) නොවළඳත්.”
“මහණෙනි, යමෙක් තුමූ කායගතාසතිය (භාවනා වශයෙන්) පරිභොග කෙරෙත්ද ඔහු නිර්වාණය වළඳත්.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය පරිභොග නොකරන ලදද, ඔවුන් විසින් නිර්වාණය පරිභොග නොකරණ ලද්දේ වේ.
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය පරිභොග කරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය පරිභොග කරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන්ගේ කායගතාසතිය පිරිහුණිද ඔවුන්ගේ නිර්වාණය පිරිහුණේය”
“මහණෙනි, යම් කෙනෙකුන්ගේ කායගතාසතිය නොපිරිහුණිද ඔවුන්ගේ නිර්වාණය නොපිරිහුණේය”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය අවබෝධ නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය අවබෝධ නොකරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය සම්පූර්ණකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය සම්පූර්ණ කරණ ලද්දේ වේ.”