16. එකධර්ම වර්ගය
1. ප්‍රථම වර්ගය
296. බුද්ධානුස්සති සූත්‍රය
සැවැත් නුවර නිදානයි.
“මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදුකරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී. කවර නම් එකම ධර්මයක්ද? බුද්ධානුස්මෘතිය (බුදුගුණ සිහිකිරීම) යි. මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී”
1. 16. 1. 2-10.
“මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදුකරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී. කවර නම් එකම ධර්මයක්ද? ධර්මානුස්මෘතිය ය, සංඝානුස්මෘතිය ය, සීලානුස්මෘතිය (ශීලයෙහි ගුණ සිහිකිරීම) ය, දීමෙහි ගුණ සිහිකිරීම ය, දෙවියන් සාක්ෂිකොට ගුණධර්ම සිහිකිරීම ය, ආශ්වාස ප්‍රශ්වාස නිමිතිකොට ඇති සිහිය ය, මරණය ගැන සිහිකිරීම ය, ශරීරයේ පිළිකුල් බව ගැන සිහිකිරීම ය, දුක් සංසිඳීම අරමුණුකොට ඇති සිහිය යි. මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී”
ප්‍රථම වර්ගයයි.
2. බීජ වර්ගය
298. පඨම මිච්ඡාදිට්ඨි සූත්‍රය
“මහණෙනි, යම් මිථ්‍යා දෘෂ්ටියක් (වැරදි දැකීමක්) කරණකොටගෙන නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිද්ද. උපන්නාවූ අකුශල ධර්මයන්ගේත් වැඩීම හා විශාලවීම ඇතිවේද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්.”
පඨමසම්මාදිට්ඨි සූත්‍රය
“මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටියක් නිවැරදිසේ දැනීමක් කරනකොටගෙන නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිද්ද. උපන්නාවූ කුශලධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්.”
300. දුතිය මිච්ඡාදිට්ඨි සූත්‍රය
“මහණෙනි, යම් මිථ්‍යා දෘෂ්ටියක් කරණකොටගෙන පෙර නූපන් කුශලධර්මයෝත් නූපදිද්ද, උපන් කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් කුශලධර්මයෝත් නූපදිත්. උපන් කුශල ධර්මයෝත් පිරිහෙත්.”
301. දුතිය සම්මාදිට්ඨි සූත්‍රය
“මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටියක් කරණකොටගෙන පෙර නූපන් අකුශලධර්මයෝත් නූපදිද්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් අකුශල ධර්මයෝත් නූපදිත්. උපන් අකුශල ධර්මයෝත් පිරිහෙත්.”
302. අයොනිසොමනසිකාර සූත්‍රය
“මහණෙනි, යම් වැරදිසේ මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් වැරදි දැකීම උපදීද, උපන් මිථ්‍යාදෘෂ්ටිය මහත්සේ වැඬේද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, වැරදිසේ මෙනෙහි කරන්නාහට පෙර නූපන්නාවූ මිථ්‍යාදෘෂ්ටියත් උපදී, උපන්නාවූ මිථ්‍යාදෘෂ්ටියත් මහත්සේ වැඬේ.”
303. යොනිසොමනසිකාර සූත්‍රය
“මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් සම්‍යක්දෘෂ්ටියත් උපදීද, උපන් සම්‍යක්දෘෂ්ටියත් වැඬේද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට පෙර නූපන් සම්‍යග්දෘෂ්ටියත් උපදී, උපන් සම්‍යග්දෘෂ්ටියත් මහත් සේ වැඬේ.”
304. නිරයුප්පත්ති සූත්‍රය
“මහණෙනි, යම් මිථ්‍යා දෘෂ්ටියක් (වැරදි දැකීමක්) නිසා සත්වයෝ ශරීරය බිඳීයාමෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදිත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි අපාය නම්වූ, දුගති නම් වූ විකාරව වැටෙන විනිපාත නම් වූ නරකයෙහි උපදිත්.”
305. සග්ගුප්පත්ති සූත්‍රය
“මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටියක් (යහපත් දැකීමක්) නිසා සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම්වූ, ස්වර්ග ලෝකයෙහි උපදිත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්තවූ සත්ත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.”