564-570. මහා සංවෙග සූත්‍රය
“මහණෙනි, එක ධර්මයක් තෙම (භාවනා වශයෙන්) වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත්වූ සංවෙගය (විදර්ශනාව) පිණිස පවතී, මහත්වූ අර්ථය (සතරමාර්ගඥානය) පිණිස පවතී, මහත්වූ යොගක්ෂෙමය (නිර්වාණය) පිණිස පවතී, ස්මෘතිය හා ඥානය (සිහිනුවණ) පිණිස පවතී, දිව්‍යචක්ෂුරභිඥාන ප්‍රතිලාභය පිණිස පවතී, මේ ආත්මභාවයෙහි සැප විහරණය පිණිස පවතී, විද්‍යාවිමුක්තීන්ගේ පල පසක් කිරීම (අර්හත්වය) පිණිස පවතී. ඒ කවර නම් එකධර්මයක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වැඩූ කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි මහත්වූ සංවෙගය පිණිස පවතී, මහත්වූ අර්ථය පිණිස පවතී, මහත්වූ යොගක්ෂෙමය පිණිස පවතී, ස්මෘතිසම්ප්‍රජන්‍යය පිණිස පවතී, ඥානදර්ශන ප්‍රතිලාභය පිණිස පවතී, දිට්ඨධම්ම සුඛ විහරණය පිණිස පවතී, විද්‍යාවිමුක්තීන්ගේ පල පසක් කිරීම පිණිස පවතී.”
571. කායචිත්ත පස්සම්භන සූත්‍රය
“මහණෙනි, එක ධර්මයෙක් වැඩූ කල්හි බහුල වශයෙන් කළ කල්හි කයද සංසිඳේ, සිතද සංසිඳේ. විතර්ක විචාරයෝද සංසිඳෙත්. (විද්‍යාව හා සම්බන්ධවූ) විද්‍යාභාගීය සියලු ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණෙත්. කවර නම් එකම ධර්මයක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වැඩූ කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි, විතර්ක විචාරයෝද සංසිඳෙත්. (අෂ්ට) විද්‍යාව භජනය කරන්නාවූ සියලුම ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණෙත්.”
572. අනුප්පන්නාකුසල සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරණ ලද කල්හි නූපන්නාවූ අකුසල ධර්මයෝද නූපදිත්, උපන්නාවූ අකුසල ධර්මයෝද නැසෙත්. ‘කවර නම් එකම ධර්මයෙක්ද? කායගතා සතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වැඩූ කල්හි බහුලවශයෙන් පුරුදු කළ කල්හි නූපන්නාවූ අකුශල ධර්මයෝද නූපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝද නැසෙත්.”
573. අනුප්පන්න කුසල සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයෙක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරණ ලද කල්හි නූපන්නාවූ කුශල ධර්මයෝද උපදිත්, උපන්නාවූ කුශල ධර්මයෝද බහුලභාවය පිණිස විපුලභාවය පිණිස පවතිත්. “කවර නම් එකම ධර්මයෙක්ද? කායගතාසතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි නූපන්නාවූ කුසල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුසල ධර්මයෝද බහුල භාවයට විපුල භාවයට පැමිණෙත්.”
574. අවිජ්ජා පහාණ සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි අවිද්‍යාව නැසේ, විද්‍යාව උපදී, මමය මාගේය යන මානය නැසේ, අනුසයෝ මුල්සිඳී නැසීමට පැමිණෙත්, සංයෝජනයෝ විනාශ වෙත්. “කවර නම් එකම ධර්මයක්ද, කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි අවිද්‍යාව නැසේ, විද්‍යාව උපදී, මමය මාගේය යන මානය නැසේ, අනුසයෝ මුල්සිඳී නැසීමට පැමිණෙත්, සංයෝජනයෝ විනාශ වෙත්”
575-576. පඤ්ඤාපභෙද සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ප්‍රඥාප්‍රභෙදය (ප්‍රඥා විශේෂයන් දැනගැනීම) පිණිස පවතී, අනුපාද පරිනිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී. කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ ප්‍රඥාප්‍රභේදය පිණිස පවතී, අනුපාද පරිනිර්වාණය පිණිස පවතී”
577-579. අනෙකධාතු පටිවෙධ සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි නොයෙක් ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්මවේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයන්හි ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභේදගත ඥානයවේ. කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩනලද කල්හි බහුලවශයෙන් පුරුදු කරන ලද කල්හි ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයෙන් ලක්ෂණ දැන ගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභෙද ඥානය වේ”
580-583. සොතාපත්තිඵල සූත්‍රය
“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ශ්‍රොතාපත්ති ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ශ්‍රොතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී. සකෘදාගාමිඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී, අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී, අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී”