1. 16. 4. 3.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්යජනපදයන්හි (දඹදිව මධ්ය දෙශයෙහි) උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේද වුවත් යම් සත්වකෙනෙක් අප්රකටවූ ම්ලෙච්ඡයන් අතර ප්රත්යන්ත ජනපදයන්හි උපදිත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.”
1. 16. 4. 4.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්රඥාව ඇත්තාහු වෙත්ද, මුළානොවූවාහු වෙත්ද, කෙළතොළු නොවූවාහු වෙත්ද, යහපත් අයහපත් ප්රකාශයන්හි අර්ථයන් දැනගැනීමට සමර්ථවූවාහු වෙත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. වැලිදු යම් සත්වකෙනෙක් ප්රඥා නැත්තාහු වෙත්ද, (මෝහයෙන් මුළාවූයේ වෙත්ද, කෙලතොල්ලෝවෙත්ද, සුභාෂිත දුර්භාෂිතයන්හි අර්ථයන් දැනගැනීමට අසමර්ථ වූවාහු වෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 5.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්ය්යයන්ට ඇති ප්රඥා චක්ෂුසින් යුක්ත වූවාහු වෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් අවිද්යාන්ධකාරයෙන් යුක්තවූවාහු අතිශයින් මුළා වූවාහු වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.”
1. 16. 4. 6.
-පෙ- “මහණෙනි, එසේම යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නොලබත්ද මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.”
1. 16. 4. 7.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දෙසනලද ධර්මවිනය ශ්රවණය කරන්ට ලබත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත් වැලිදු යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මවිනය ශ්රවණයට නොලබත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.”
1. 16. 4. 8.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධර්මය අසා (සිතෙහි) දරත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් ධර්මය අසා සිතෙහි නොරදත්ද මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 9.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධාරණය කරණලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා කෙරෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්ව කෙනෙක් ධාරණය කරනලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා නොකෙරෙත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 10.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි පිළිපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් අර්ථයනොදැන, ධර්මයනොදැන ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි පිළිනොපදිත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 11.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් කලකිරියයුතු කාරණයන්හි කලකිරෙත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් සංවෙග කටයුතු කාරණයන්හි සංවෙග නූපදවත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 12.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ව කෙනෙක් සංවේගයට පැමිණියාහු නුවණීන් (සම්යක් ප්රධාන) වීර්ය්යය කෙරෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් සංවේගයට පැමිණියාහු (කළකිරුණාහු) නුවණින් (සම්යක්ප්රධාන) වීර්ය්යය නොකෙරෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 13.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නිර්වාණය අරමුණුකොට චිත්තය සම්බන්ධවූ සමාධිය ලබත්ද, චිත්තය සම්බන්ධවූ එකඟ බව ලබත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් නිර්වානය අරමුණුකොට සිතේ සමාධිය නොලබත්ද, සිතේ එකඟබව නොලබත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”