1. 16. 3. 13.
“මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍රවූ අසුචිය වුවද දුගඳ වේද, එපරිද්දෙන්ම ස්වල්පමාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්ණනා නොකරමි, අන්තමසො අසුරුසැනක් ගැසීම පමණ කලකුදු වර්ණනා නොකරමි.”
1. 16. 3. 14-17.
“මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍ර මූත්‍රය වුවද දුගඳ වේද -පෙ- ස්වල්පමාත්‍ර කෙළ වුවද දුගඳ වේද -පෙ- ස්වල්පමාත්‍ර සැරව වුවද දුගඳ වේද -පෙ- ස්වල්පමාත්‍ර ලේ වුවද දුගඳ වේද, එපරිද්දෙන්ම මම ස්වල්පමාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්ණනා නොකරමි, අන්තමසො අසුරුසැනක් ගැසීම පමණ කලකුදු වර්ණනා නොකරමි.”
වග්ගො තතියො.
[4. ජම්බුදීපපෙය්යාලො]
1. 16. 4. 1.
“මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද? මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ගොඩ උපන්නෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. වැලිදු යම් සත්ව කෙනෙක් දියෙහි උපන්නෝ වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.”
1. 16. 4. 2.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. යලිදු යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් ගෙන් වෙන්ව උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 3.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්‍යජනපදයන්හි (දඹදිව මධ්‍ය දෙශයෙහි) උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේද වුවත් යම් සත්වකෙනෙක් අප්‍රකටවූ ම්ලෙච්ඡයන් අතර ප්‍රත්‍යන්ත ජනපදයන්හි උපදිත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.”
1. 16. 4. 4.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, මුළානොවූවාහු වෙත්ද, කෙළතොළු නොවූවාහු වෙත්ද, යහපත් අයහපත් ප්‍රකාශයන්හි අර්ථයන් දැනගැනීමට සමර්ථවූවාහු වෙත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. වැලිදු යම් සත්වකෙනෙක් ප්‍රඥා නැත්තාහු වෙත්ද, (මෝහයෙන් මුළාවූයේ වෙත්ද, කෙලතොල්ලෝවෙත්ද, සුභාෂිත දුර්භාෂිතයන්හි අර්ථයන් දැනගැනීමට අසමර්ථ වූවාහු වෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 5.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්‍ය්‍යයන්ට ඇති ප්‍රඥා චක්ෂුසින් යුක්ත වූවාහු වෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් අවිද්‍යාන්ධකාරයෙන් යුක්තවූවාහු අතිශයින් මුළා වූවාහු වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.”
1. 16. 4. 6.
-පෙ- “මහණෙනි, එසේම යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නොලබත්ද මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.”