306. පාපකබීජ සූත්‍රය
“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නාලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද යම්බඳුවූ චෙතනාවක් තමාගේ දෘෂ්ටිය එකඟ වනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟ වනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ අධිෂ්ඨානයක් තමාගේදෘෂ්ටියට එකඟවන සේ සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නාලැබේද, යම්බඳුවූ (ඵස්සාදි) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස අවැඩ පිණීස දුක් පිණීස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය ලාමක වේද (එහෙයිනි). මහණෙනි, කොසඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත් වූ පොළවෙහි සිටවන ලද්දේ, යම්බඳුවූ පෘථිවි රසයකුත් ඇදගණීද, යම්බඳු ආපෝ රසයකුත් ඇදගණීද, ඒ සියලු රසය තිත්තභාවය පිණිස කටුකභාවය පිණීස, අමධුර භාවය පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි, බීජය (ඇටය) ලාමක වේද එහෙයිනි. එසේම මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් -පෙ- යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චෙතනාවක් -පෙ- යම්බඳුවූ ප්‍රාර්ථනාවක් -පෙ- යම්බඳුවූ අධිෂ්ඨානයක් -පෙ- යම්බඳුවූ සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස අවැඩ පිණීස දුක් පිණීස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය ලාමක වේද (එහෙයිනි).”
307. හද්දකබීජ සූත්‍රය
“මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාක්කර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද යම්බඳු ප්‍රාර්ථනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳු අධිෂ්ඨානයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද යම්බඳු සංස්කාරයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස කැමැතිබව පිණිස මනාපය පිණිස හිත පිණිස සැප පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය යහපත් වේද (එහෙයිනි). මහණෙනි යම්සේ වනාහි උක් (බීජයක්) කරටියක් හෝ ඇල්වී බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත්වූ පොළොවෙහි සිටවන ලද්දේ යම් පෘථුවි රසයකුත් ඇදගණීද යම් අපෝරසයකුත් ඇදගණීද, ඒ සියල්ල මිහිරි බැව් පිණිස රස බැව් පිණිස හාත්පසින් රස වැගිරීම පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි බීජය යහපත් හෙයිනි. එසේම මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරනු ලැබේද, යම්බඳුවූ වාක්කර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, යම්බඳුවූ චේතනාවක් -පෙ- යම්බඳු ප්‍රාර්ථනාවක් -පෙ- යම්බඳු අධිෂ්ඨානයක් -පෙ- යම්බඳු සංස්කාරයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස කැමැතිබව පිණිස මනාපය පිණිස හිත පිණිස සැප පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය යහපත් වේද (එහෙයිනි).”
දෙවෙනි වර්ගයයි.
[3. තතියොවග්ගො]
1. 16. 3. 1.
“මහණෙනි, ලෝකයෙහි උපදනාවූ එකම පුද්ගලයෙක් බොහෝ දෙනාට අයහපත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී. කවර නම් එකම පුද්ගලයෙක්ද? විපරීත දර්ශන ඇති මිථ්‍යාදෘෂ්ටික තැනැත්තේය. හෙතෙම මහාජනයා (දශ කුශලකර්මපථ නම් සද්ධර්මයෙන්) උදුරා දශ අකුශලකර්මපථ නම් අසද්ධර්මයෙහි පිහිටුවයි. මහණෙනි, මේ එකම පුද්ගල තෙම ලොව උපදින්නේ බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී.
1. 16. 3. 2.
“මහණෙනි, ලොව උපදනාවූ එකම පුද්ගලයෙක් බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස බොහෝ ජනයාට අර්ථය පිණිස, දෙව් මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදී. කවර නම් එකම පුද්ගලයෙක්ද? විපරීත දර්ශන නැති සම්‍යග්දෘෂ්ටික තැනැත්තේය. හෙතෙම මහාජනයා දශ අකුශලකර්මපථ නම් අසද්ධර්මයෙන් උදුරා, දශකුශලකර්මපථ නම් සද්ධර්මයෙහි පිහිටුවයි. මහණෙනි, මේ එකම පුද්ගල තෙම ලොව උපදින්නේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස බොහෝ ජනයාට අර්ථය පිණිස, දෙව්මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදී.
1. 16. 3. 3.
“මහණෙනි, යම්සේ මිථ්‍යාදෘෂ්ටිය මහත් වරද සහිත වේද, මහණෙනි, මේ බඳුවූ අනික් එක ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, මහත් දෝෂයන් අතරෙන් මිථ්‍යාදෘෂ්ටිය ඉතා මහත් දෝෂ ඇත්තීය.”
1. 16. 3. 4.
“මහණෙනි, යම්සේ මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේද, මහණෙනි, ඒ මේ බඳුවූ අනික් එක පුද්ගලයෙකුදු මම නොම දකිමි. මහණෙනි, යම්සේ ගංමුවදොරෙක්හි වූ කෙමනක් බොහෝ මත්ස්‍යයන්ට අහිත පිණිස දුක් පිණිස, අනර්ථය පිණිස, විනාශය පිණිස, අටවනු ලබන්නේ වේද, එවමෙව ඛො භික්ඛවෙ මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ සත්වයන්ට අහිත පිණිස, දුක් පිණිස, අනර්ථය පිණිස, විනාශය පිණිස මිනිස් කෙමනකැයි සිතමි.”
1. 16. 3. 5.
“මහණෙනි, නපුරුකොට ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් (යම් ප්‍රතිපත්තියක්) සමාදන් කරවයිද, යම් අතවැසියකු ලවාත් සමාදන් කරවයිද, යම් ඒ අතවැසි තෙමේද සමාදන් කරවන ලද්දේ ඔහුගේ වචනය පිළිගෙන ඒ වචනය පිණිස පිළිපදීද, ඒ සියල්ලෝ බොහෝ අකුසල් රැස් කෙරෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ධර්මය නපුරුකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.”