301. දුතිය සම්මාදිට්ඨි සූත්‍රය
“මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටියක් කරණකොටගෙන පෙර නූපන් අකුශලධර්මයෝත් නූපදිද්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් අකුශල ධර්මයෝත් නූපදිත්. උපන් අකුශල ධර්මයෝත් පිරිහෙත්.”
302. අයොනිසොමනසිකාර සූත්‍රය
“මහණෙනි, යම් වැරදිසේ මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් වැරදි දැකීම උපදීද, උපන් මිථ්‍යාදෘෂ්ටිය මහත්සේ වැඬේද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, වැරදිසේ මෙනෙහි කරන්නාහට පෙර නූපන්නාවූ මිථ්‍යාදෘෂ්ටියත් උපදී, උපන්නාවූ මිථ්‍යාදෘෂ්ටියත් මහත්සේ වැඬේ.”
303. යොනිසොමනසිකාර සූත්‍රය
“මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් සම්‍යක්දෘෂ්ටියත් උපදීද, උපන් සම්‍යක්දෘෂ්ටියත් වැඬේද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට පෙර නූපන් සම්‍යග්දෘෂ්ටියත් උපදී, උපන් සම්‍යග්දෘෂ්ටියත් මහත් සේ වැඬේ.”
304. නිරයුප්පත්ති සූත්‍රය
“මහණෙනි, යම් මිථ්‍යා දෘෂ්ටියක් (වැරදි දැකීමක්) නිසා සත්වයෝ ශරීරය බිඳීයාමෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදිත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි අපාය නම්වූ, දුගති නම් වූ විකාරව වැටෙන විනිපාත නම් වූ නරකයෙහි උපදිත්.”
305. සග්ගුප්පත්ති සූත්‍රය
“මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටියක් (යහපත් දැකීමක්) නිසා සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම්වූ, ස්වර්ග ලෝකයෙහි උපදිත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්තවූ සත්ත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.”
306. පාපකබීජ සූත්‍රය
“මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නාලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද යම්බඳුවූ චෙතනාවක් තමාගේ දෘෂ්ටිය එකඟ වනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟ වනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ අධිෂ්ඨානයක් තමාගේදෘෂ්ටියට එකඟවන සේ සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නාලැබේද, යම්බඳුවූ (ඵස්සාදි) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස අවැඩ පිණීස දුක් පිණීස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය ලාමක වේද (එහෙයිනි). මහණෙනි, කොසඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත් වූ පොළවෙහි සිටවන ලද්දේ, යම්බඳුවූ පෘථිවි රසයකුත් ඇදගණීද, යම්බඳු ආපෝ රසයකුත් ඇදගණීද, ඒ සියලු රසය තිත්තභාවය පිණිස කටුකභාවය පිණීස, අමධුර භාවය පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි, බීජය (ඇටය) ලාමක වේද එහෙයිනි. එසේම මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් -පෙ- යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චෙතනාවක් -පෙ- යම්බඳුවූ ප්‍රාර්ථනාවක් -පෙ- යම්බඳුවූ අධිෂ්ඨානයක් -පෙ- යම්බඳුවූ සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස අවැඩ පිණීස දුක් පිණීස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය ලාමක වේද (එහෙයිනි).”
307. හද්දකබීජ සූත්‍රය
“මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාක්කර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද යම්බඳු ප්‍රාර්ථනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳු අධිෂ්ඨානයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද යම්බඳු සංස්කාරයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස කැමැතිබව පිණිස මනාපය පිණිස හිත පිණිස සැප පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය යහපත් වේද (එහෙයිනි). මහණෙනි යම්සේ වනාහි උක් (බීජයක්) කරටියක් හෝ ඇල්වී බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත්වූ පොළොවෙහි සිටවන ලද්දේ යම් පෘථුවි රසයකුත් ඇදගණීද යම් අපෝරසයකුත් ඇදගණීද, ඒ සියල්ල මිහිරි බැව් පිණිස රස බැව් පිණිස හාත්පසින් රස වැගිරීම පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි බීජය යහපත් හෙයිනි. එසේම මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරනු ලැබේද, යම්බඳුවූ වාක්කර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, යම්බඳුවූ චේතනාවක් -පෙ- යම්බඳු ප්‍රාර්ථනාවක් -පෙ- යම්බඳු අධිෂ්ඨානයක් -පෙ- යම්බඳු සංස්කාරයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස කැමැතිබව පිණිස මනාපය පිණිස හිත පිණිස සැප පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය යහපත් වේද (එහෙයිනි).”
දෙවෙනි වර්ගයයි.