පඨමසම්මාදිට්ඨි සූත්රය
“මහණෙනි, යම් සම්යක් දෘෂ්ටියක් නිවැරදිසේ දැනීමක් කරනකොටගෙන නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිද්ද. උපන්නාවූ කුශලධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සම්යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්.”
300. දුතිය මිච්ඡාදිට්ඨි සූත්රය
“මහණෙනි, යම් මිථ්යා දෘෂ්ටියක් කරණකොටගෙන පෙර නූපන් කුශලධර්මයෝත් නූපදිද්ද, උපන් කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, මිථ්යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් කුශලධර්මයෝත් නූපදිත්. උපන් කුශල ධර්මයෝත් පිරිහෙත්.”
301. දුතිය සම්මාදිට්ඨි සූත්රය
“මහණෙනි, යම් සම්යක් දෘෂ්ටියක් කරණකොටගෙන පෙර නූපන් අකුශලධර්මයෝත් නූපදිද්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සම්යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් අකුශල ධර්මයෝත් නූපදිත්. උපන් අකුශල ධර්මයෝත් පිරිහෙත්.”
302. අයොනිසොමනසිකාර සූත්රය
“මහණෙනි, යම් වැරදිසේ මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් වැරදි දැකීම උපදීද, උපන් මිථ්යාදෘෂ්ටිය මහත්සේ වැඬේද, මහණෙනි, ඒ බඳුවූ අන්ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, වැරදිසේ මෙනෙහි කරන්නාහට පෙර නූපන්නාවූ මිථ්යාදෘෂ්ටියත් උපදී, උපන්නාවූ මිථ්යාදෘෂ්ටියත් මහත්සේ වැඬේ.”
303. යොනිසොමනසිකාර සූත්රය
“මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් සම්යක්දෘෂ්ටියත් උපදීද, උපන් සම්යක්දෘෂ්ටියත් වැඬේද, මහණෙනි, ඒ බඳුවූ අන්ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට පෙර නූපන් සම්යග්දෘෂ්ටියත් උපදී, උපන් සම්යග්දෘෂ්ටියත් මහත් සේ වැඬේ.”
304. නිරයුප්පත්ති සූත්රය
“මහණෙනි, යම් මිථ්යා දෘෂ්ටියක් (වැරදි දැකීමක්) නිසා සත්වයෝ ශරීරය බිඳීයාමෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදිත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, මිථ්යාදෘෂ්ටියෙන් යුක්තවූ සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි අපාය නම්වූ, දුගති නම් වූ විකාරව වැටෙන විනිපාත නම් වූ නරකයෙහි උපදිත්.”
305. සග්ගුප්පත්ති සූත්රය
“මහණෙනි, යම් සම්යක් දෘෂ්ටියක් (යහපත් දැකීමක්) නිසා සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම්වූ, ස්වර්ග ලෝකයෙහි උපදිත්ද, මහණෙනි, ඒ බඳුවූ අන්ය එක ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සම්යග්දෘෂ්ටියෙන් යුක්තවූ සත්ත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.”